ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවකට මුල් වූ නිකිනි පුර පසලොස්වක පොහොය දිනය අදට (14)ට යෙදී ඇත. මෙම උතුම් පොහෝ දිනය දරමිටි පොහොය මෙන් ම අධි ඇසළ පොහොය ලෙස ද හැඳින්වේ.
අජාසත් රජුගේ රාජ්යානුග්රහයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජගහ නුවරදී ප්රථම ධර්ම සංගායනාව සමාරම්භ වූයේ අද වන් නිකිනි පොහෝ දිනකය. එය සිදුවන්නේ වෙසක් පුන් පොහෝදා බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් තෙමසකට පසු නිකිනි පොහෝ දාය.
ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් වූ අරහත්භාවයට පත්වූයේ අද වන් නිකිනි පොහෝ දිනකය.
ශාසන සම්ප්රදාය අනුව පෙරවස් සමාදාම් වීමට මග හැරුණු භික්ෂූන් වහන්සේ පසුවස් එළඹෙන්නේ අද වන් නිකිනි පොහෝ දිනකය.
සිදුහත් කුමාරයාගේ සුළු මව වූ මහා ප්රජාපති ගෝතමිය ඇතුළු කාන්තාවන්ගේ ඉල්ලීම මත භික්ෂුණී ශාසනය ආරම්භය සිදුවන්නේ ද අද වන් නිකිනි පොහෝ දිනකය.
බුදු රදුන්ගේ ලලාට ධාතුව නිධන් කොට සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ වූයේ දෙවන පෑතිස් රජ සමයේ අද වන් නිකිනි පොහෝ දිනකය.
පුරාණ කාලයේ අපේ රටේ ඉතාම ජනප්රිය ධර්ම දේශනා සම්ප්රදායක් වූ අරියවංස දේශනා උත්සවය සිදුකර ඇත්තේ අද වන් නිකිනි පොහෝ දිනකය.
මහනුවර දළදා පෙරහැරේ අවසන් රන්දෝලි මහා පෙරහැර වීථි සංචාරය කරන්නේ ද අද වන් නිකිනි පොහෝ දිනකය. ඒ සම්ප්රදාය අනුව මේ වසරේ රන්දෝලි පෙරහැර අවසන් වරට අද වීථි සංචාරය කරනු ඇත.
මෙවන් උතුම් ඓතිහාසික සිදුවීම් සමුදායක් සිදු වූ නිකිනි පොහෝ දින ආගමික කටයුතුවලට මුල් තැන දී කටයුතු කිරීම බෞද්ධ සම්ප්රදායයි.