බුද්ධ චරිතයේ සුවිශේෂ සිදුවීම් සමුදායක් සිදු වූ මැදින් පුරපසළොස්වක පොහෝ දිනය අදයි!

March 20, 2019 at 8:05 am | by admin

• සුද්ධෝදන රජතුමා තම පුතණුවන් උතුම් වූ බුදු බව ලබා බරණැස ඉසිපතනාරාමයේ දී ප්‍රථම ධර්ම දේශනාව පවත්වා අනතුරුව රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටින බව දැන උන්වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරවා ගැනීම සඳහා බෝසත් සිදුහත් කුමරුන් හා එකම දින උපන් කාළුදායි ඇමති පිටත් කොට උන් වහන්සේ ශාක්‍ය දේශය (වර්තමාන නේපාලය) බලා වැඩම කරවූයේ මැදින් පුන් පොහොය දිනකදීය.

• අනෙකුත් ශාක්යා වංශික රජවරු, කුමාරවරු ඉතාමත් මාන්නාදික පිරිස් වූහ. ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු බවට පත් වුවද තමන්ට වඩා වයසින් බාල නිසා උන් වහන්සේට වැඳ නමස්කාර කිරීමට පසුබට විය. මෙය තේරුම් ගත් අප බුදු පියාණන් වහන්සේ ඔවුන්ගේ මාන්නය දුරු කිරීමට අහස් කුසට නැග යමා මහ පෙළහර පෑ සේක.එය දුටු සුද්ධෝදන රජු තම පුතුට (ලොව්තුරා බුදු පියණන් වහන්සේ හට) තෙවන වරට වදින ලද්දේ මැදින් පුන් පොහොය දිනයේය.

• බෝසත් සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්ම ගිය පසු සියලු සුඛ විහරන අත් හැර අල්පේච්ඡ ජීවිතයක් ගත කළ යසෝදරා දේවිය බැහැ දැකීමට කිඹුල්වත් නුවරට වැඩම කල බුදු පියාණන් වහන්සේ පෙර ආත්ම භවයන් සිහිපත් කර යසෝදරා දේවියට සඳ කිඳුරු ජාතකය දේශනා කරන ලද්දේ ද මැදින් මාසයේදීය.

• අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ කිඹුල්වතට වැඩම කර පිළිවෙළින් තෙවන හා සත් වන දිනයන්හීදී නන්ද කුමරුත් රාහුල කුමරුත් පැවදි කළ සේක. යසෝදරා දේවිය තම පුත් රාහුල කුමරුන්ට නරසීහ ගාථා හා පිය ගුණ කියා දී මග වඩින බුදු පියාණන් වහන්සේ පෙන්වා උන් වහන්සේ සතුව ඇති වස්තුව, තම උරුමය ලබා ගන්න යැයි පවසමින් රාහුල කුමරුන් එමගට යැවූහ. පසුව රාහුල කුමරු බුදු පියාණන් පසු පස විහාරයට වැඩම කළේය. ඉන් පසු බුදු පියාණන් වහන්සේ රාහුල කුමරුන්ව පැවදි කරන මෙන් සැරියුත් තෙරුන්ට වදාළ සේක. මෙය දැනගත් සුද්ධෝදන රජු ඉමහත් ශෝකයට පත්ව දෙමව්පියන් හා දරුවන් අතර ඇති කිසිදා නොබිඳෙන සම්බන්ධය පිළිබඳව බුදුන් වහන්සේට පවසා නැවත දෙමව්පියන්ගේ අවසරයකින් තොරව දරුවන් මහණ නොකරන මෙන් ඉල්ලා සිටියේය. ඒ හේතුවෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් කිසි දිනක දෙමාපිය අවසරයකින් තොරව දරුවන් බුද්ධ ශාසනය තුළ පැවිදි කර නොගන්නා ලෙස අනුශාසනා කරන ලද්දේ මැදින් පුන් පොහොය දිනයකදීය.

• පසුව අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ මාළිගයට වැඩම කර දානය වළඳා සුද්ධෝදන රජතුමා ඇතුලු පිරිසට ධර්මපාල ජාතකය වදාළ සේක. ඉන් පසු සුද්ධෝදන රජු අනාගාමී ඵලය ලබා ගත්තේය. මේ සියල්ලම මැදින් පොහොය දින සිදුවිය.

• වර්ථමානයේ විශේෂයෙන්ම බෞද්ධ ජනතාවට මැදින් පුන් පොහොය වැදගත් වන්නෙ ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටා ඇති ශ්‍රී පාද වන්දනාවට සුදුසුම කාලය මැදින් මස තුල උදාවන නිසායි.

මෙවන් සුවිශේෂ පුණ්‍ය කර්ම සමූදායක් සිදු වූ අද වන් සුවිශේෂ පොහෝ දිනයක් හුදු විනෝද චාරිකා අපතේ නොයවා සිල් සමාදම් වීම, පන්සල් යාම, බණ භාවනාවල යෙදීම ආදී පිංකම් සිදු කිරීමට පිං සිත් පහළ වේවා!

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *