රට පුරා පන්සල්වලට ආධාර දෙනවා! පොසොන් උළෙල ඉහළින්ම සමරන්න ඕන! – අගමැති

June 8, 2019 at 1:11 pm | by emanisa.lk

මේ අවස්ථාවේදී බිය සැක නොමැතිව පොසොන් උත්සවය සැමරිය යුතු බවත් මිහින්තලේ පොසොන් කලාපයට පමණක් නොව රට පුරා පන්සල් සඳහා ආධාර ලබා දීමටත්, සියළුම දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දානමය පුණ්‍යකර්මයන් පැවැත්වීමටත් රජයෙන් ප්‍රතිපාදන වෙන් කොට ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසීංහ මහතා ප්‍රකාශ කළේය.

පොසොන් පෝය සැමරීම වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකවරුන් සමග සාකච්ඡා කිරීම සඳහා ඊයේ (7) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් දැක්වීය.

“හැම දිස්ත්‍රික්කයේම මේ වැඩසටහන් කරන්න, විශේෂයෙන්ම පන්සල්වලට ආධාර දෙන්න අපි මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ සමගම සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දාන සහ පිංකම් පවත්වන්න අපි ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා. මිහින්තලේ පොසොන් කලාපය වෙනුවෙන් මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ සමගම සැරසිලි, දාන, ශීල, භාවනා වැඩසටහන් අපි රට පුරා ක්‍රියාත්මක කරනවා.”

“ඒ වගේම සෑම ජාතික පාසලකම ශීල ව්‍යාපාරයක් පවත්වනවා. මෙවැනි වැඩසටහන් ගණනාවක් සංවිධානය කරලා තිබෙනවා. අපි මේවා දියත් කරන්න ඕනෑ. අපි පෙන්නන්න ඕනෑ අපි මෙවැනි වැඩකටයුතු කරන්න බය නැහැ කියලා. අපිට ඒ ආත්ම ශක්තිය තිබෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ බුදු සමය ලංකාවට ගෙන ආ මේ පොසොන් පොහොය තමයි ලංකාවේ සිංහල බෞද්ධයන්ට තිබෙන වැදගත්ම උත්සවයයි. එබැවින් මේ පොහොය අවස්ථාවේදී භේද ඇති කරන්නට අපි කිසිවෙකුටත් ඉඩ දෙන්න හොඳ නැහැ. අප වැඩ කළ යුත්තේ සියළු දෙනාම එකතු කරන ආකාරයටයි. ඒ නිසා පොසොන් පෝයට මුල්තැන දී එය ඉතාම හොඳින් සංවිධානය කරන ලෙස මම ඉල්ලා සිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස