ඉන්දියාවට විකුණන්න හැදූ මත්තල ජාත්‍යන්තර මෙහෙයුම් අරඹයි! ජාත්‍යන්තර ගුවන් සමාගම් මත්තලට එන්න සූදානම්!

June 17, 2020 at 8:37 am | by emanisa.lk

අගෝස්තු 01 වැනිදා කටුනායක ගුවන් තොටුපොළ සංචාරකයන් සඳහා විවෘත කිරීමට සමගාමීව මත්තල ගුවන් තොටුපළේ ද ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරැඹීමට රජය සුදානම් වෙයි.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග සඳහන් කළේ දැනටමත් ගුවන් සේවා අධිකාරිය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

අගෝස්තු 01 වැනිදා සිට කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සඳහා විවෘත කිරීමට අවශ්‍ය අති නවීන සමේ උෂ්ණත්ව හඳුනා ගැනීමේ කැමරා උපකරණ, නවීන සන්නිවේදන පද්ධති, අධෝරක්ත උෂ්ණත්වමාන, විශේෂිත මුහුණු ආවරණ, පී. පී. සී. ආවරණ හා අත්වැසුම් වැනි උපකරණ තොගයක් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට ලබා දීමේ උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

උත්සවය ඊයේ (16) කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී පැවැත්විණ. රුපියල් මිලියන 45ක් වටිනා මේ උපකරණ තොගය කටුනායක ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට ප්‍රදානය කළේ සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයයි. ජපානය හා ඕස්ට්‍රේලියානු රජයන් මේ ප්‍රදානයන් අදාළ සංවිධානයට ලබා දී තිබිණි.

උපකරණ තොගය භාරගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ ඇමති ප්‍රසන්න රණතුංග පැවසුවේ, විදේශගත ශ්‍රමිකයන් මවුබිමට ගෙන්වා ගැනීමේ කටයුතු ද කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් උපදෙස් දී ඇති බවයි. ඒ නිසා අගෝස්තු 01 වැනිදාට පෙර විදේශගතව සිටින ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සියලු දෙනා දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

කටුනායක ගුවන් තොටුපළට සමගාමීව සංචාරකයන් සඳහා මත්තල ගුවන් තොටුපළ ද විවෘත කරන බව පැවසූ ඇමතිවරයා ගුවන් සමාගම් සමඟ දැනටමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි කීවේය. මත්තල ගුවන් තොටුපළට පැමිණෙන සියලු ජාත්‍යන්තර ගුවන් යානා අදාළ ගුවන් තොටුපළ හා ගුවන් සේවා බද්දෙන් නිදහස් කිරීමට ද රජය තීරණය කර තිබේ. ඊට අදාළ කැබ්නට් පත්‍රිකාවට පසුගිය පෙබරවාරි මාසයේ දී අනුමැතිය හිමි විය. ඒ අනුව මත්තල ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට ගුවන් සමාගම් කිහිපයක්ම දැනටමත් එකඟත්වය පළ කර ඇතැයි ද ඇමැතිවරයා කිවේය.

දිවයිනට පැමිණෙන ඕනෑම පුද්ගලයකු පී. සී. ආර්. පරීක්ෂණයකට ගුවන් තොටුපළේදීම ලක් කරන බවත්, එය අනිවාර්ය බවත් පැවසූ ප්‍රසන්න රණතුංග මහතා සංචාරකයන්ට දිවයිනේ සංචාරය කිරීමට හැකියාව ලැබෙන්නේ ගුවන් තොටුපළේ සිදු කරනු ලබන පී. සී. ආර්. පරීක්ෂාවෙන් පසුව බව ද කීවේය.

සෞඛ්‍ය අංශ උපදෙස් දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි ද ඇමැතිවරයා මෙහි දී කීවේය.

මීට අමතරව නීත්‍යනුකූල නොවන මාර්ගවලින් පුද්ගලයන් රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ද රජය පියවර ගෙන තිබේ. විශේෂයෙන්ම මුහුදු මාර්ගයෙන් මෙරටට නීති විරෝධී සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්වීමට වෙනම මෙහෙයුමක් මේ දිනවල ක්‍රියාත්මක වන බව පැවසූ ප්‍රසන්න රණතුංග මහතා මේ සියල්ල සිදු කරන්නේ මෙරටට කොවිඩ් 19 රෝගය ඇතුළුවීම වැළැක්වීම සඳහා බව කීවේය.

මේ අවස්ථාවට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජී. ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, සංක්‍රමණිකයන් සඳහා ජාත්‍යන්තර සංවිධානයේ සංක්‍රමණික හා පාලන ප්‍රධානී ශාන්ත කුලසේකර යන මහත්වරු සහභාගි වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස