ආණ්ඩු පක්ෂ හමුව ගාලගෝට්ටියක් වෙයි! ඇමති විමල් නිමල්ට තක්කඩියා යැයි බැණ වදී!

October 11, 2020 at 9:05 am | by emanisa.lk

ඇමති විමල් වීරවංශ විසින් “ජනාධිපතිතුමනි, මූ මහ තක්කඩියෙක්! මොවුන්ගෙන් පරිස්සම් වෙන්න.” යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දී ම ඇමති නිමල් සිරිපාල ද සිල්වාට බැණ වැදී ඇතැයි වාර්තා වෙයි.

ඒ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පෙරේදා (09) අරලියගහ මන්දිරයේ දී පැවැත්වූ වැඩමුළුවේදීය.

මෙම අවස්ථාවට ජනාධිපතිවරයා ද එකතු වී ඇති අතර මුලින් ම ඇමති අලි සබ්‍රි සහ ඇමති ජී.ඇල්. පීරිස් 20 වන සංශෝධනයෙහි අවශ්‍යතාව සහ එහි නිරවද්‍යතාව පිළිබඳ දේශන පැවැත්විණි.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ සහ තවත් පිරිසක් එම දේශන අනුමත කරමින් සභාව අමතා ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග දිගින් දිගිට ම එහි ඇති සීමා පිළිබඳ පෙන්වා දී තිබේ. ඊට පිරිසක් බාධා කරන අතර වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ සහාය පළකර තිබේ.

මේ අතර ඇමති නිමල් සිරිපාල ද සිල්වා ද 20 වන සංශෝධනය ඉතා ම නිවැරදි බවට වර්ණනා කර තිබේ. එහි දී ඇමති විමල් වීරවංශ දැඩි ලෙස කෝප වී මෙලෙස බැණ වැදී ඇත.

“ජනාධිපතිතුමනි, පහුගිය කැබිනට් හමුවේ දී මම 20ට එරෙහිව කරුණු දැක්වූවා. කැබිනට් රැස්වීම අවසන් වෙලා එළියට ආව ම මං ළඟට ආව ඇමති නිමල් සිරිපාල මගේ විරෝධය අගය කළා. විස්ස මේ විදිහට සම්මත වීම මහා විනාශයක් බවත් ඇමතිතුමා අපි වෙනුවෙනුත් කතා කළ බවත් කිව්වා. දැන් ඊට සපුරා විරුද්ධ කතාවක් කරනවා. ජනාධිපතිතුමනි, මේ වගේ තක්කඩින්ගෙන් පරිස්සම් වෙන්න.”

මේ අවස්ථාවේ අගමැති මහින්ද පවසා ඇත්තේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුට තක්කඩියා යැයි ඇමතීම සුදුසු නොවන බවත් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ය. ඇමති විමල් අනතුරුව එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස