අපි ඉන්නේ ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක..! බැරි වුණොත් ජනතාව සමග පාරට බහිනවා ..! – ශ්‍රිලනිපය ..

January 9, 2022 at 5:41 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමාන ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා ජනතාව සංවිධානය කරමින් කුමන්ත්‍රණයක නිරත වී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කරයි.

ඒ අනුව අනිකුත් දේශපාලන පක්ෂ සහ එම පක්ෂවල නායකයන් සමග මෙන්ම නොයෙකුත් බලවේග සමග පුළුල් සන්ධානයක් ගොඩ නැගීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා පවත්වමින් සිටින බව ද හෙතෙම අනාවරණය කරයි.

වර්තමාන ආණ්ඩුවට විරුද්ධ බලවේග මෙන්ම ජනතාව ද ආණ්ඩුව විසින් මර්දනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පෙන්වා දෙන රෝහණ ලක්ෂ්මන් පියදාස, සඳහන් කරන්නේ මර්දනයට එරෙහිව ප්‍රතික්‍රියාව ඉදිරියේදී බලවත් වනු ඇති බවයි.

එමෙන්ම වර්තමාන ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ආණ්ඩුවේ අනිකුත් සහෝදර පක්ෂවල මැති ඇමතිවරුන්ට සහ නායකයන්ට අපහාසාත්මකව සිදු කරන ප්‍රකාශ සහ හැසිරීම් හෙළා දකින බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

යම් හෙයකින් මේ මොහොතේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් ඉවත් කොට සිය පක්ෂය මර්දනය කිරීමට උත්සාහ කරන්නේ නම් වර්තමාන ආණ්ඩුව පෙරළා දමමින් නව ආණ්ඩුවක් ගොඩ නැගීමේ ක්‍රියාවලිය ඉක්මන් වනු ඇති බව රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් සඳහන් කළේය.

මේ මොහොතේ ආණ්ඩුව සිදු කළ යුත්තේ “පාර්ලිමේන්තු මැතිවරණයක් ” පවත්වා ජනතාවට තීන්දුවක් ගැනීමට අවස්ථාවක් ලබා දීම බව පෙන්වා දෙන රෝහණ ලක්ෂ්මන් පියදාස, ආණ්ඩුව එසේ නොකරන්නේ නම් ජනතාව සමග අරගලයකට සූදානම් බව ද වැඩිදුරටත් සඳහන් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස