හිඟයක් නැතිව යළ කන්නයට පොහොර දෙන්න! රටම ක්‍රමානුකූලව කාබනික පොහොරට යොමු කරවන්න! – ජනාධිපති

March 4, 2020 at 8:17 am | by emanisa.lk

හිඟයකට ඉඩ නොතබා ලබන යළ කන්නයට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපයන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට නියෝග කරයි.

ඉදිරි දින කිහිපය තුළ පොහොර තොග දිවයිනට ළඟාවීමට නියමිත හෙයින් ප්‍රමාදයකින් තොරව පොහොර බෙදා හැරීමට විධි විධාන සලසන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ගොවීන් කිසිදු විටක අපහසුතාවට පත් නොකරන්නැයි අවධාණය කළේය.

පොහොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්ත්වය පිළිබඳ සමාලෝචනය කිරීමට ඊයේ (3) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව පැවසීය.

පොහොර ආනයනයේ දී මතුව ඇති ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර බෙදාහැරීමට පෙර සිදුකෙරෙන ප්‍රමිති පරික්ෂණ වාර්තා දින 10ක් ඇතුළත ලබාගන්නැයි ජනාධිපතිවරයා දැනුම් දුන්නේය. ගොවීහූ වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් අධික පොහොර භාවිතයට යොමුව සිටින බවත් රසායනික පොහොර භාවිතයේ දී මතුවන ගැටලු පිළිබඳ ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ගොවි ජනතාව ක්‍රමානුකූලව කාබනික පොහොර වෙත ඔවුන් යොමු කළයුතු බව පැහැදිළි කළේය.

ඒ සඳහා ගොවීන් දැනුම්වත් කිරීමට පියවර ගන්නැයිද ජනාධිපතිවරයා කියා සිටියේය. කාබනික පොහොර භාවිතයෙන් කෙරෙන නිෂ්පාදන කෙරෙහි ජනතාවගේ මහත් උනන්දුවක් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වෙළෙඳපොළ අවශ්‍යතාව සහ නිරෝගී අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කිරීම නොපමාව කළයුතු බව ප්‍රකාශ කළේය.

ලෝකයේ පිළිගත් උසස් ප්‍රමිතියකින් යුත් පොහොර නිෂ්පාදනය කරන රටවල් හඳුනා ගෙන පොහොර ආනයනය කළ යුතු බවත් වී ගොවිතැන ප්‍රමුඛ වාර්ෂිකව වගාකරන භෝග සහ ඒවායේ ප්‍රමාණය නිශ්චිතව හඳුනාගෙන ප්‍රමාණවත් පරිදි පොහොර ආනයනයට පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ඇමැති චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආටිගල, මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ව හා ග්‍රාමීය සාංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, වැවිලි කර්මාන්ත හා අපනයනන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, මහ බැංකු නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න යන මහත්වරු සහ කෘෂිකකර්ම දෙපාර්තුමේන්තුව, ප්‍රමිති කාර්යාංශය සහ ලංකා පොහොර සාංස්ථාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ , පොහොර ආනයනකරුවන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස