ශ්‍රී ලංකාව බහු ජාතික බහු ආගමික රටක්! – අස්ගිරි මහනාහිමි

December 31, 2019 at 2:01 pm | by emanisa.lk

මේ රට බහු ජාතික හා බහු ආගමික රටක් බැවින් සියලු ජාතීන් හා ආගමිකයන් එකමුතුව ඉදිරි ගමන යාම ඉතා වැදගත් බවත් ජාති හා ආගම් භේද නොමැතිව රටේ සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත් වීමට නව වසරේ සිතට ගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ පැවසූහ.

නව වසර වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් මහා නායක හිමියෝ මේ බව ප්‍රකාශ කර සිටියහ. මේ රට බහු ජාතික බහු ආගමික රටක් බව සියලු ජාතීන් තේරුම් ගත යුතු බව ද මහා නායක හිමියෝ අවධාරණය කළහ.

ජනාධිපතිවරණය ඉතා සාමකාමීව පැවැත්වුණු ආකාරයෙන් නව වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉතා සාමකාමී අයුරින් පවත්වා ගැනීමට සියලු ජනතාව උනන්දු විය යුතු බවත් යම් සිදුවීම් මුල්කර ගනිමින් අවුල් වියවුල් ඇති වූවොත් එය රටේ පරිහානියට හේතු වනු ඇති බවත් මහා නාහිමියෝ ප්‍රකාශ කර සිටිති.

සියලු ජනතාව මේ රට අපේ කියන හැඟීම ඇතිව කටයුතු කරන්නේනම් සැමට සතුටින් එකට වාසය කළ හැකි වාතාවරණයක් ගොඩනැගෙන බවත් නව වසර සියලු ජනතාවගේ පැතුම් ඉටුවන සෞභාග්‍යමත් වාසනාවන්ත එකක් වේවායි ප්‍රාර්ථනා කරන බවත් උන්වහන්සේ පැවැසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස