විජේතුංග ජනාධිපතිට පසු පන්සලට දැනෙන වැඩක් කළේ ඇමති කිරිඇල්ලයි! – අස්ගිරි නාහිමි

June 28, 2019 at 12:17 pm | by emanisa.lk

ඩී. බී. විජේතුංග ජනාධිපතිතුමාගෙන් පසුව පන්සල්වලට දැනෙන්න යම් වැඩක් කළේ ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල බවත්, යන්න එන්න හරි හැටි පාරක් නොතිබූ විහාරස්ථානවලට පාරක් හදා දීම වටිනා ක‍්‍රියාවක් බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ‍්‍රී ඥානරතන මහානාහිමියෝ පැවසූහ.

පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය සහ කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා හමුවේ අනුශාසනාවක් කරමින් උන්වහන්සේ එසේ ප‍්‍රකාශ කළහ.

මල්වතු මහා විහාරයේ ස්ථාපිත සී.සී.ටී.වී. කැමරා පද්ධතියට අදාළ ලිපි ලේඛන නිල වශයෙන් මහා නායක හිමිපාණන් වහන්සේට භාරදීමෙන් අනතුරුව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අස්ගිරි මහා විහාරයට පැමිණ එහිදී එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැ දුටහ.

දිවංගත ජනාධිපති ඩී. බී. විජේතුංග මහතාගෙන් පසුව මහනුවර දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන සංවර්ධනය සඳහා දැනෙන සංවර්ධනයක් සහ සේවයක් සිදු කරනු ලැබුවේ අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා යැයි කී අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන් තවදුරටත් මෙසේ ද සඳහන් කළහ.

විහාරස්ථාන සඳහා විදුලිය සහ දුරකථන පහසුකම් ලබාදීමට ඩී. බී. විජේතුංග හිටපු ජනාධිපතිතුමන් කටයුතු කළා. ඒ අයුරින්ම විහාරස්ථාන තුන්සියයකට ආසන්න ප‍්‍රමාණයක ප‍්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීමට වත්මන් අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කටයුතු කර තිබෙනවා. ඔහු කරන ලද කාර්යභාරය කාටවත් අමතක වන්නේ නැහැ. විහාරස්ථානවලට පිවිසීමට තිබුණු මාර්ග විශාල වශයෙන් අබලන් වී තිබුණා. ඒ මාර්ග සියල්ලම පිළිසකර කරමින් උතුම් සේවාවක් අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සිදුකළා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස