ශවේන්ද්‍රට හමුදාපති ධුරය නොදෙන්නැයි අන්තර්ජාතික බලපෑම්! හමුදාපති මහේෂ් සහ සත්‍යප්‍රිය සීතල යුද්ධයක!

August 18, 2019 at 12:41 pm | by emanisa.lk

මීළඟ හමුදාපති ධුරය සඳහා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර් ජාතික බලවේග බලපෑම් කරමින් ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතීන්ගේ හිටපුු නිත්‍ය නියෝජිත ශේනුකා සෙනෙවිරත්ත මාර්ගයෙන් එම කණ්ඩායම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දන්වා ඇත්තේ යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයට පත් නොකරන ලෙසත් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඔහුට දෙවෙනි මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඒ සඳහා පත් කරන ලෙසත්ය.

සත්‍යප්‍රිය ලියනගේට සහය වන්නට ඔහුගේ සොහොයුරා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් ධම්මික ලියනගේ කටයුතු කරමින් සිටින අතර ඔහු ජනාධිපතිවරයාගේ එක් ව්‍යාපෘතියක ප්‍රධානියෙකු ලෙස කටයුතු කරයි.

මේ අතර අද ( 18) විශ්‍රාම ගැනීමට නියමිත යුද හමුදාපති මහේෂ් සේනානායක තවත් සේවා දිගුවක් ලබා ගැනීමට උත්සාහ කරමින් ඇතැයි ද වාර්තා වෙයි.

අවුරුදු 55 සම්පූර්ණ කිරීම නිසා පසුගිය ජුනි මස 21 විශ්‍රාම යෑමට නියමිතව සිටි ශවේන්ද්‍ර සිල්වාට ජනාධිපතිවරයා ලබා දුන් සේවා දිගුව නිසා දෙසැම්බර් 31 වෙනිදා දක්වා යුද හමුදාවේ සේවය කිරීමේ අවස්ථාව ලැබී තිබේ.

සත්‍යප්‍රිය ලියනගේ හමුදාපති ධුරයට පත්කිරීමේ සහ මහේෂ් සේනානායක සේවා දිගුවක් ලබා ගැනීමේ මෙහෙයුම්වල අරමුණ වී ඇත්තේ කොටි ත්‍රස්තවාදය පරාජය කළ අවසන් සටනට සුවිශේෂ නායකත්වයක් ලබා දුන් අභීත සෙන්පතියකු වන ශවේන්ද්‍ර සිල්වා දෙසැම්බර් 31 වෙනිදා විශ්‍රාම යන තුරු හමුදාපති ධුරයට පත්වීම වැළැක්වීම බව වාර්තා වෙයි.

මේ හමුදාපති පුටු මාරුව නිසා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිපතිත්වය දරන ගජබා රෙජිමේන්තුවේ අද දිනට නියමිතව තිබූ ගජබා සුපර්ක්‍රොස් මෝටර් රථ තරඟාවලිය කල් දමා ඇත.

කෙසේ වුවද හමුදාපති මහේෂ් සේනානායකට ලබා දී ඇති සේවා දිගුව අද (18) අවසන් වන නිසා ඔහුගේ සේවා කාලය අද අවසන් වන අතර නව හමුදාපතිවරයකු පත් කරන තුරු හමුදාපති ධුරය හිස් වෙයි.

මී ළඟ හමුදාපති ධුරයට ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ජනපති අනුමැතිය හිමිව තිබුණ ද මෙතෙක් ඔහු එම තනතුරු සඳහා පත් කර නැත්තේ මෙම අන්තර්ජාති බලපෑම් නිසා බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ශවේන්ද්‍ර සිල්වා හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කරන අවස්ථාවේ ද මෙවැනි බලපෑම් එල්ල වුවද ජනාධිපතිවරයා ඊට අවනත වූයේ නැත. මෙවර ජනාධිපතිවරයාට එල්ල වී ඇති බලපෑම් හමුවේ ගන්නා ක්‍රියාමාර්ගය කුමක් දැයි බොහෝ අංශ විමසිල්ලෙන් පසුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස