යුද්ධ නිමා වූ මැයි 18 වෙනිදා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ සැමට අභිමාණවක් දවසක්! වසර 10කට පෙර මහින්ද කී රුවන් වැකිය සිහිපත් කරමින් උතුරේ ආණ්ඩුකාරයා රණවිරු සැමරුමේ!

May 21, 2019 at 1:29 pm | by admin

රටේ එකදු බිම් අඟලක් බෙදුම්වාදයට ගොදුරු වන්නට තමන් ඉඩ නොදෙන බවත් මිලියන 21ක ජනතාවක් ඊට එරෙහිව මෙහෙය වීමට තමා සූදානම් බවත් උතුරේ ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවති උතුරු පළාත් රණවිරු සැමරුම් උත්සවයට එක්වෙමින් පැවසීය.

රටට එරෙහිව පැමිණෙන අභියෝග ජය ගැනීමට නම්, සියලු දෙනා කිසිදු භේදයකින් තොරව එක්විය යුතු බවත් ආණ්ඩුකාරවරයා පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා,

“අද පලාලියට පමණක් නොවෙයි, මාගේ මුළු මාතෘ භූමියටම, ඔබ මා ඉපදි දවසක මියයන මේ පුණ්‍ය භූමියටත්, ඒ පුණ්‍ය භූමිය තමන්ගේ මව්බිම හැටියට සලකන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සහ වැදි යන සියලු ජනකොටස්වලටම අභිමානවත් දවසක් යැයි මා සහිනුටහන් කළ යුතුමය.

යුද ජයග‍්‍රහණයක් හැටියට මං මේක සලකන්නේ නැත. මට සමාවෙන්න. මන්දයත් මෙය සිවිල් යුද්ධයක්. අප තරග කළේ, අපි අවිආයුධ ගත්තේ, අපි යුද්ධ කළේ අපේම සහෝදර කැලක් සමගය. ඔවුන් දැරූ මතවාදයන්ට විරුද්ධ නිසාත්, ඇතැම් වෙලාවක ඔවුන් අපෙන් යුද්ධයක් ඉල්ලපු නිසාත් අපට අකැමැත්තෙන් වුවත් හමුදාපතිතුමනි ඔවුන් එක්ක සටන් කරන්න සිදුවුණ බව තමයි ඇත්ත. එම නිසි මෙම සිවිල් යුද්ධයේ ජයග‍්‍රහණය තිබෙන්නේ එක තැනක, එනම් යුද නිමාවීම තමයි අපේ ජයග‍්‍රහණය.

පසුගිය 21 වැනිදා, අප්‍රේල් මස 21 වැනිදා මගේ මාතෘ භූමිය නැවත වරක් අභියෝගයට ලක් කර ඇත. ඒ අභියෝගය අපි මෙතෙක් නොදුටු, පෘථුල, ගැඹුරු, විස්තිර නොවුණු අභියෝගයක් බව අපි දැන් දන්නවා. එය ජාත්‍යන්තර අභියෝගයක්. එය මූලධර්මවාදී අභියෝගයක්. එය ආගමික පදනමකින් පැන නැගෙන අභියෝගයක්.

ඒ නිසා මේ මොහොතේ මිලියන 21ක ආත්මයත්, ඔවුන්ගේ දෑතේ ශක්තියත්, ඔවුන්ගේ බුද්ධි වර්ධනයත් එක්කර අපි ඒ ත‍්‍රස්තවාදීන්ට කිවයුතු එක පණිවුඩයක් ඇත.

මාගේ මව්බිමේ එක අගලක් හෝ එකදු ස්ථානයක්හෝ ත‍්‍රස්තවාදයට යට කරන්නට අපි සූදානම් නැති බව. එයට එරෙහිව අවශ්‍ය නම් මිලියන 21කම ජනතාව පෙළ ගැසෙන්නට කැමති බව. ලැහැස්ති බව. ඒ ත‍්‍රස්තවාදීන් සහ ඔවුන්ට අනුබල දෙන ආයතන, පුද්ගලයන්, දේශපාලනඥයින්ට මා ආණ්ඩුකාරවරයා හැටියට කියන්නට කැමතියි. ඒ අභියෝගය අපි භාර ගන්න කැමතියි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස