මිනිස් පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය කිලෝ ලක්ෂ හතහමාරක් මාබිම ගබඩාවකින් අල්ලයි! නීතිමය කටයුතු නතර කරන්නැයි බස්නාහිර ආණ්ඩුකරුගෙන් නිලධාරීන්ට දැඩි තර්ජන!

July 1, 2019 at 8:08 am | by emanisa.lk

බියගම, මාබිම ප‍්‍රදේශයේදි මිනිස් පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය සහිත ආහාර ගබඩාවක් වැටලීමේ සිද්ධිය පිළිබඳ නීතිමය කටයුතු වැළැක්වීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් කටයුතු කරමින් සිටින බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසයි.

පසුගිය 25වැනිදා මොහොමඩ් නූර්දීන් නමැති ව්‍යාපාරිකයකුට අයත් මෙම ගබඩාව පරීක්ෂා කිරීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය කිලෝග‍්‍රෑම් 7,56,000කට අධික ප‍්‍රමාණයක් සොයාගත් බව හෙතෙම පවසයි.

පසුව මාකොළ දකුණ සහ හෙයියන්තුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම ආහාර ගබඩාවට මුද්‍රා තබා ඇත. පරිභෝජනයට නුසුදුසු ධාන්‍ය අතර පරිප්පු, මුං සහ කවුපි එහි වූ බවත්, ඒවා කෘමි සතුන් ගහන ආගන්තුක ද්‍රව්‍ය සහ පක්ෂි අසූචිවලින් යුක්ත වූ බවත් හෙතෙම කියා සිටියේය. පසුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා එම වැටලීම කළ නිලධාරීන් කැඳවා ඔවුන්ගේ රාජකාරියට බාධා වන අයුරින් තර්ජනය කර ඇතැයිද ලේකම්වරයා සඳහන් කළේය.

තවදුරටත් කතා කරමින් ඔහු මෙසේද කීය.

“මෙම වැටලීම ගැන අහන්න ආණ්ඩුකාරවරයා ඔහුගේ කාර්යාලයට කැඳවා තිබෙනවා. ඒ අවස්ථාවේ ආණ්ඩුකාරවරයා අපේ නිලධාරීන්ට බැණ වදිමින් එම නිලධාරීන් විසින් සිදුකරන ලද රාජකාරියට අවමන් කරමින් ඔවුන් ස්ථාන මාරුකර විනය පරීක්ෂණ සිදුකරන බවටත් තර්ජනාත්මකව පවසා තිබෙනවා. ඒ වගේම ඔහු මේ නඩු කටයුත්ත මින් ඉදිරියට නොකරන ලෙසටත් දැඩිව පවසා තිබෙනවා. මේ වැටලීම කරපු නිලධාරීන්ට ආණ්ඩුකාරවරයා බලපෑම් කළ නිසා අපි මහර අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළා.”

“කෙසේ වුවත් ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට නිරන්තරයෙන්ම කැපවන නිලධාරීන් හැටියට මේ නඩු කටයුතු ඒ ආකාරයෙන්ම කරගෙනයාමට කටයුතු කරනවා. මේ සඳහා ආණ්ඩුකාරවරයාගෙන් තවදුරටත් බලපෑම් එල්ල වුණොත් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළඹෙනවා. මේ ගබඩාවේ ආහාර ඉතා අපිරිසිදු තත්ත්වයකයි තිබුණේ. මේ ජරාව තමයි රටේ ජනතාවට කන්න දෙන්නේ. මෙවැනි තැන් අපි දිගටම වටලනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස