නෙළුම් කුලුනේ කිසිම වංචාවක් වුණේ නෑ!එහෙම වුණා නම් නෙළුම් කුලුන හැදෙන්නේ නෑ! ජනාධිපතිතුමා නොමග යවලා! – අනුෂ පැල්පිට

September 17, 2019 at 10:49 pm | by emanisa.lk

ඊයේ (16) නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයේ දී එහි ඉදිකිරීම් අතරතුර රුපියල් බිලියන 02ක වංචාවක් සිදුව ඇති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශයේ කිසිදු සත්‍යයතාවක් නොමැති බව ආරම්භයේ සිට 2014 අවසානය දක්වා එම ව්‍යාපෘතිය භාරව කටයුතු කළ එවක විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට පවසයි.

2011 වසරේ නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරාගත්තේ එවක චීන තානාපති ලෙස කටයුතු කළ කරුණාතිලක අමුණුගමගේ නිර්දේශය මත බවත් එම සමාගම් දෙක නම් national electronics import and export corporation (CEIEC)සහ aerospace long march international trading company (ALIT) බවත් සඳහන් කළ අනූෂ පැල්පිට ඒ සඳහා කැබිනට් අනුමැතිය මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය ද ලද බව තහවුරු කළේය.

එසේම සියලු ගනුදෙනු සිදුකළේ CEIEC සමාගම සමග බවත් ඒ චීනයේ එක්සිං බැංකුවේ ඇති ඔවුන්ගේ එකම ගිණුමක් ඔස්සේ පමණක් බවත් අවධාරණය කළ අනූෂ පැල්පිට 15%ක අත්තිකාරම් මුදල එනම් රු. බිලියන 02කට ආසන්න මුදලක් CEIEC සමාගමේ අදාළ ගිණුමේ තැන්පත් කළ බවත් එය නැවතත් කොටස් වශයෙන් ශ්‍රී ලංකා විදුලි සන්දේශ කොමිසමට ලබා දුන් බවත් හෙතෙම අවධාරණය කළේය. ඒ පිළිබඳ ව්‍යාපෘතිය භාරව කටයුතු කළ මොරටුව විශ්වවිද්‍යාලයේ සමිත මානවඩු සහ වර්තමාන විගණන නිලධාරියා ද තහවුරු කළ බව ඔහු පැවසීය.

එහෙයින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයට ALIT සමාගම සමග කිසිදු මුදල් ගනුදෙනුවක් සිදු නොවූ බවත් ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම තමා භාර ගන්නා බවත් හෙතෙම පවසයි. එසේම මේ පිළිබඳ සාකච්ඡා කිරීමට චීනයට ගිය අවස්ථාවේ තමා මෙන්ම සෙසු නිලධාරීන් ද මෙම ALIT සමාගම වෙත ගොස් සාකච්ඡා කළ බව ද හෙළි කළේය.

මෙම ව්‍යාපෘතිය තුළ කිසිදු වංචාවක් සිදු නොවූ බව සහතික කළ අනූෂ පැල්පිට විදුලි සංදේශ කොමිසන් සභාවේ කිසියම් නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපතිවරයා නොමග යවා ඇති බව ද සඳහන් කළ අතර මේ නිසා තමන්ට විශාල අගතියක් සිදුව ඇති බවත් එය නිවැරදි කළ හැක්කේ විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ නිලධාරීන්ට පමණක් බව ද පෙන්වා දුන්නේය. එසේම කිසියම් වරදක් වී ඇතැයි සිතන්නේ නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස