ගෝඨාභය ඉලක්ක කළ පාස්පෝට් අවනඩුව අතේ පත්තුවෙයි!

August 7, 2019 at 8:13 am | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තවමත් නිල වශයෙන් ජනාධිපති අපේක්ෂකයකු ලෙස නිවේදනය කර නොමැත. අගෝස්තු 11 වන දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සමුළුවේ දී ඔහු සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එහි අභිනව නායක මහින්ද රාජපක්ෂ විසින් නම් කරනු ඇත.

කෙසේ වුවද මේ රටේ සුවහසක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ සිය අනාගත ජනාධිපති අපේක්ෂකයා නොව අනාගත ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමට තීන්දු කර දැන් බොහෝ කල් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. සැබවින්ම මහින්ද රාජපක්ෂට ඉතිරිව ඇත්තේ එම ජනතා තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පමණි.

ඊට පසු ජනතාව විසින් සිය අනාගත ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නියත ලෙසම පත්කර ගනු ඇත. එය ඉතිහාසයේ එතෙක් මෙතෙක් ජනාධිපතිවරයකු ලද විශාලතම ඡන්ද ප්‍රමාණය වනු ඇති බවට බොහෝ දෙනා අනාවැකි පළ කරති. ඔහු වටා ගොඩනැඟී ඇති ජන රැල්ල එතරම්ම ප්‍රබල බව ඇතැම් දේශපාලන පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවල දී ද කතාබහ වී තිබේ.

මෙම ජනතා ආකර්ශනය කල්තියා දුටුවේ එජාපය ප්‍රමුඛ බල කඳවුර යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. සිය ප්‍රතිවාදී කඳවුරෙන් බා ගත් අපේක්ෂකයකු ලවා මහින්ද රාජපක්ෂ පරාජයට පත් කළ වහා ගෙන ආ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කොන්දේසියක් ඇතුළු කළේ ප්‍රධාන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගෙන බව ප්‍රසිද්ධ රහසකි.

එයින් නොනැවතුණු ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ කිසියම් නඩුවකට පටලවා සිරගත කිරීමට නොකළ දෙයක් නැත. අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන්ට සිය බිරින්දෑවරු පවා ලවා ආණ්ඩුවේ බළල් අත් ලෙස කටයුතු කරන ඇතැම් පොලිස් නිලධාරීන් බලපෑම් කර තිබුණේ ගෝඨාභය යම් අපරාධයක් කිරීමට තමන්ට අණ දුන්නේ යැයි පවසන්නේ නම් වහාම නිදහස් වී ගෙදර යා හැකි බවය. එම නිලධාරීන්ගේ බිරින්දෑවරුන් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ මහ අවනඩුව රටටම හෙළි කළ අතර ඒ දේශප්‍රේමී වීරයන් ආණ්ඩුව අපේක්ෂා කළ ආකාරයේ පාවාදීමකට සූදානම් වූයේ නැත.

මේ ආකාරයට අවුරුදු 4ක් ගෙවී ගියත් නඩුවක් පටලවා ගෝඨාභය කොටුකළ නොහැකි වූ තැන ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වූයේ ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය දඩමීමා කරගෙන කෙසේ හෝ ජනාධිපතිවරණ තරඟ බිමෙන් සිය විශිෂ්ටතම ප්‍රතිවාදියා ඉවත් කර තැබීමටය. ඒ සඳහා දෙමළ ඩයස්පෝරාව ලවා ගෝඨාට එරෙහිව ඇමරිකාවේ නඩු පැවරීමට ආණ්ඩුව කටයුතු කළේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම වළක්වා ගැනීමටය. ඒ සඳහා ඇමරිකා කොන්සල් ජනරාල් කාර්යාලය ඍජුව මැදිහත් වූ බව ගෝඨාභය රාජපක්ෂ හෙළි කළේය.

ආණ්ඩුවේ මේ සියලු නින්දිත උත්සාහයන් ගඟට කැපූ ඉණි බවට පත් කරමින් ගෝඨාභය රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අයඳුම් කළ අතර ඇමරිකානු විදේශ ගමන් බලපත්‍රය ද මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයට භාර දුන්නේය. එහෙත් මෙය එජාප කඳවුරට අදහාගත නොහැකි විය. ගෝඨාභය සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වනු ඇතැයි ඔවුන් සිහිනයකිනුදු සිතුවේ නැත. එසේ වූයේ නම් 19 වෙනි සංශෝධනයට ඇතුළත් වනු ඇත්තේ ආරක්ෂක හමුදාවක සේවය කළ රාජපක්ෂ කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකිය වැනි වගන්තියකි.

ගෝඨාභය සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම අපේක්ෂා නොකළ එජාප කඳවුර එය විශ්වාස කිරීමට පවා මැලි විය. ඔවුන් ඒ පිළිබඳ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ද ඇමරිකානු තානාපතිනියගෙන් ද විමසුවේ එහෙයිනි. ගෝඨාභය සිය පුරවැසිභාවය ඉවත් කරගත් විට ලබා දෙන සහතිකය යැයි සඳහන් ව්‍යාජ ලේඛනයක් සමාජජාලාවල ප්‍රචාරය කිරීමට කටයුතු කළේ ද එහි ඇත්ත නැත්ත තහවුරු කර ගැනීමට ඔවුන් අතර පැවති කුලප්පුව නිසාය.

අවසානයේ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ සත්‍ය ලේඛනය ප්‍රසිද්ධ කිරීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේ මේ රටේ සුවහසක් ජනතාවගේ හදවත් සැනසුම් සුසුමින් සනසාලමින් පමණක් නොව රටට සතුරු කඳවුරේ පරාජය ගලේ කෙටු අකුරක් සේ සහතික කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ සිය පුරවැසිභාවය අහෝසිකරගත්තා පමණක් නොව නිත්‍යානුකූල ලෙස නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ද කටයුතු කළේය. ඒ ද්විත්ව පුරවැසිභාවය අහෝසිකරගත් ඕනෑම පුරවැසියකු අනුගමනය කළ යුතු සාමාන්‍ය පිළිවෙළ අනුව මිස ආණ්ඩුවේ ඇතැම් මඩ වෙබ් අඩවි මුදා හරින වෛරී මුසාවාදවල සඳහන් ආකාරයට හොර පාරෙන් නොවේ.

සිය ආණ්ඩුව යටතේ එවැනි නීති විරෝධී කටයුතු සිදුවන්නේ නම් ඊට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරනු මිස මඩ අවලාදවලින් දමා ගැසීම යුක්ති යුක්ත නොවේ. තමන්ගේ දේශපාලන සතුරන් දඩයම් කිරීම පිණිස වෙනම අධිකරණ තනා තමන්ට උවමනා ආකාරයට නීතිය නමන නඩු පවරන ආණ්ඩුවට එම විදේශ ගමන් බලපත්‍රය ලබාගත් ආකාරයේ වරදක් ඇත්නම් නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් තිබිය නොහැකිය. එසේ නීතිය ක්‍රියාත්මක කළ නොහැකිව ආණ්ඩුව විසින් මඩ අවලාද නැඟීම යනු තමන් වහාම ගෙදර යැවිය යුතු බවට ආණ්ඩුව විසින්ම මළබෙර වැයීමකි.

අනෙක් අතට තිස් වසරක කොටි ත්‍රස්තවාදයෙන් රට ගලවා ගැනීමේ මෙහෙයුමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ගෝඨාභය රාජපක්ෂ නතර කිරීමට ව්‍යවස්ථාව වෙනස් කළ, ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට බාධා කළ, වසර 4ක් පුරා පදනම් විරහිත නඩු පවරමින් ඔහුට අනේක හිංසා පීඩා කළ ආණ්ඩුව නීතියට පිටින් ගොස් ගෝඨාභයට සහනයක් දෙනු ඇතැයි සිතීම පවා මුළාවක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

කෙසේ වුවද වර්තමාන ආණ්ඩුව පසුගිය කාලය පුරා ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගෙන සිදුකළ වෛරී ද්වේෂ සහගත වැඩපිළ‍ිවෙළ නිසා මේ රටේ බුද්ධිමත් දේශප්‍රේමි ජනතාව දිනපතා ගෝඨාභය වටා රොද බැඳගත් අතර ගෝඨාභය රැල්ල ද සිඳිත මඩිත එක ලෙස සුවඳ පැතිරෙන සඳුන් කඳක් සේ රට පුරා ඉතිර පැතිර යන්නට විය. එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමත් සමගම ආණ්ඩුව අනුගමනය කළ වෛරී සහ ද්වේෂ සහගත ප්‍රචාරණ වැඩපිළිවෙළ තව දුරටත් මේ රටේ ජනතාව අනුමත නොකරන බව ද එය සිය දේශපාලන සතුරා ශක්තිමත් කිරීමට ද හේතු වූ බව ඔවුන් ප්‍රත්‍යක්ෂ කරගනු ඇත.

එහෙත් ඒ දවස උදාවන විට ගෝඨාභය රාජපක්ෂ ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණය ලබා ජනාධිපති ධුරයට පත්ව මේ රට නව යුගයක් කරා ගෙන යන ඓතිහාසික ගමනේ සමාරම්භය සනිටුහන් කර තිබෙනු ඇත.

ඉඳුනිල් වික්‍රමසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස