ගෝඨාට එල්ල කළ හොර ඡන්ද චෝදනාව පුස්සක් වෙයි! ගෝඨාගේ විනය නීතිගරුක බව තවත් බැබළෙයි!

August 27, 2019 at 11:51 am | by emanisa.lk

2005 ජනාධිපතිවරණය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂගේ නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් වුවද ඔහු එවර සිය ඡන්දය භාවිත නොකළ බවත් ආණ්ඩුවේ පචමෝල් හිමියන්ගේ චෝදනා නිසා සිදුවූයේ ගෝඨාභය කෙතරම් විනයගරුක පුරවැසියෙක් ද යන්න හෙළිවීම පමණක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ඊයේ (26) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.

“ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2005 දී ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවෙමින් ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය පාවිච්චි කළ බවට ආණ්ඩුවේ මාධ්‍ය විසින් දැවැන්ත ප්‍රචාරයක් සිදු කරනවා. ඒ නිසා මේ පිළිබඳ ඇත්ත රටට ප්‍රකාශ කළ යුතුයි.

1992 දී ඇමෙරිකාවේ නිත්‍ය නේවාසිකයෙකු බවට පත් වුණත් ඇමෙරිකාවේ පුරවැසියෙකු බවට පත් වුණේ නෑ. ඒ කියන්නේ ඇමෙරිකාවේ ජීවත් වන ශ්‍රී ලංකා පුරවැසියෙක්. ඒ නිසා සැම වසරකම මැදමුලන නිවසේ ඡන්දදායක ලැයිස්තුව පුරවන විට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නමත් ලැයිස්තුවට ඇතුලත් කරන්න ගෘහ මූලික විධියට චමල් රාජපක්ෂ මැතිතුමා කටයුතු කළා. මොකද බැරි වෙලාවත් ඡන්දයක් පැවැත්වෙන විට ගෝඨාභය මැතිතුමා ලංකාවේ සිටියොත් ඔහුට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව තිබිය යුතු නිසා.

ගෝඨාභය මැතිතුමා ඇමෙරිකාවේ පුරවැසියෙකු වන්නේ 2003 වසරේ දී. එබැවින් 2005 ජනාධිපතිවරණයට භාවිත කළ ඡන්දදායක ලැයිස්තුවේ ගෝඨාභය මැතිතුමාගේ නම තිබෙනවා. නමුත් ජනාධිපතිවරණය වන විට ඔහු ඇමෙරිකානු පුරවැසියෙකු වීමෙන් ලංකාවේ පුරවැසිභාවය අහෝසි වී තිබුණා. මේ තමන්ගේ අයියා තරග කරන ජනාධිපතිවරණය. ඡන්ද හිමි නාමලේඛණයේ තමන්ගේ නම තිබෙනවා.

නමුත් තමන් තව දුරටත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන නිසා මේ විනය ගරුක නීති ගරුක මල්ලි තමන්ගේ. ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලැකි සිටිනවා. අන්න ඒ නිසා තමයි ගෝඨාභය මැතිතුමාගේ නම ඡන්ද නාම ලේඛණයේ තිබුණු බවට චෝදනා නැගුවාට ඇත්තෙන්ම ඡන්දය පාවිච්චි කළ බවට කිසිවෙක් චෝදනා නගන්නේ නැත්තේ.

එජාපය මඩක් කර ගන්න හැදූ සිදුවීම ගෝඨාභය මැතිතුමා කෙතරම් නීතිගරුක පුද්ගලයෙකු ද කියන එක ප්‍රර්දශනය කරන සාධකයක් වී තිබෙනවා. මේ සිදුවීම මතු කළාට ආණ්ඩුවේ පචමෝල් හිමියනි, ඔබට පින්!”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස