ඔස්ට්‍රේලියාවෙන් කිරි හරක් ආනයන ව්‍යාපෘතිය අසාර්ථක බව ඇමතිට කීවා! ඇමති හැරිසන් වැඩේ දිගටම කරගෙන යන්න කීවා! – අමාත්‍යංශ ලේකම් ජනපති කොමිසමට කියයි….

September 23, 2019 at 12:05 pm | by emanisa.lk

ඕස්ට්‍රේලියාවේ වෙලාඩ් සමාගමින් මෙරටට කිරි දෙනුන් 20,000 ක් පමණ ආනයනය කිරීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබූ ව්‍යාපෘතියක් බවත් එම ව්‍යාපෘතියේ ඇති ගැටලු ගැන අමාත්‍ය පී. හැරිසන් ඇතුළු අදාළ බලධාරීන්ට දැනුම් දුන්නද එය දිගටම සිදුකර ගෙන යන ලෙසට තමන්ට උපදෙස් ලැබුණු බවත් පශු සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් රේණුකා ඒකනායක ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසුවාය.

2017/2018 වර්ෂවලදී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් ඕස්ට්‍රේලියාවේ වෙලාඩ් සමාගම හරහා මෙරටට ගැබ්බර කිරි දෙනුන් ආනයනය කිරීමේදී වංචා සිදුවී ඇතැයි කියමින් ගොනු වූ පැමිණිල්ලකට අදාළව සාක්කි දෙමින් හිටපු අමාත්‍යාංශ ලේකම්වරිය කියා සිටියාය.

එසේම මේ කිරි දෙනුන්ගේ මතු පිට පුෂ්ටිමත්භාවය සොය බලා වාර්තා ඉදිරිපත් කිරීමට තමන් අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකු , පශු වෛද්‍යවරයෙකු ඇතුළු තිදෙනෙකු ගෙන් යුත් නිලධාරී කණ්ඩායමක් නවසීලන්තයේ දින 6 ක සංචාරයක් සඳහා යැවූ බවද හිටපු අමාත්‍යාංශ ලේකම්වරිය ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තාය.

ආනයනය කරන අවස්ථාවේ ගැබ්බර කිරි දෙනුන්ට රෝග වැළඳී නොතිබුණු අතර ඔවුන් බිහිකළ පැටවුන්ට රෝග වැළඳී ඇති බවට තමන් පසුව දැනගත් බවද හිටපු ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

එම කිරි දෙනුන් මෙරට කිරි ගොවීන් සඳහා ලක්ෂ 4-5ත් අතර ඉහළ මිලකට අලෙවි කර ඇති අතර ගොවීන් බැංකු ණය මගින් මුදල් ලබාගෙන කිරි ගවයන් මිලට ගෙන තිබූ අතර ඉන් වැඩි කොටසක් පසුව මිය ගිය බවද වාර්තා වෙයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබු බව පිළිගත් හිටපු ලේකම්වරිය මේ හරහා කිරි ගොවීන් මුහුණපෑ අපහසුතා සම්බන්ධයෙන් තමන් කණගාටුවන බව කොමිසම හමුවේ කියා සිටියාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස