Park & Ride ව්‍යාපෘතිය සාර්ථක ලෙස ඉදිරියට ම…..! ජනතා ප්‍රතිචාර ඉතා ඉහළයි…..!

January 21, 2021 at 4:33 pm | by emanisa.lk

කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන ලද “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ඉතා ම සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.

මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගරවලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙහි අරමුණයි.

පරිසර දූෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද අපේක්ෂා කෙරේ. ආසන ගණනට මගීන් රැගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ. අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පොළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ Clock Wise හා Anti Clock Wise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම වැඩසටහනට අයත් වේ.

මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. පෙ.ව. 06.00 සිට පෙ.ව. 08.00 සහ ප.ව. 04.00 සිට ප.ව. 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ. පෙ.ව. 08.00ත් ප.ව. 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි. දිනකට ගමන් වාර 64ක් සිදු කෙරේ.

වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ඊට හිමි වේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස