MCC පරාජය කරලීම ගෝඨා ජනපති කළ සැමගේ ජයග්‍රහණයක්! අනාගත අභියෝග ජයගන්න රජයේ වගේ ම ජනතා කැපවීමත් අවශ්‍යයි! – ගෙවිඳු

December 22, 2020 at 11:35 am | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයට පෙර MCC ගිවිසුම අත්සන් කරගැනීම සඳහා විශාල ප්‍රයත්නයක් දැරුණු බව නොරහසක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

පසුගියදා (20) තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරියේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

MCC ගිවිසුම අත්සන් කර අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එවක විදේශ ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කළ බව ද හෙතෙම සිහිපත් කළේ ය.

නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ තරුණ පරපුර රට භාරගත යුතු බව කියන පාඨලී චම්පක එදා MCC ගිවිසුමින් ශ්‍රී ලංකාවට කිසිදු හානියක් නොමැති බවත් රට වෙනුවෙන් MCC ගිවිසුම අත්සන් කළ යුතු බවත් සඳහන් කළ බව ද ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේ ය.

MCC ගිවිසුම ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලිය නවතාලන බව ඇමරිකාව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමට පෙරට ආ සියලු දේශමාමක බලවේගවල ජයග්‍රහණයක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

කෙසේ වුව ද මෙපමණකින් අපේ රටේ ආරක්ෂාව තහවුරු වූයේ යැයි තමන් නොසිතන බවත් කුඩා දූපතක් ලෙස ඉතා ම වැදගත් භූගෝලිය පිහිටීමක් සහිත අපේ රටත් ඊට අනන්‍ය සභ්‍යත්ව සංස්කෘතියත් වසර දෙදහසක් තිස්සේ ආරක්ෂා කරගත හැකි වූයේ පරපුරෙන් පරපුරට සිදුකළ අනවරත අරගලයක් මගින් බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.

ඇමරිකාව සිය අනාගත බල උවමනාවන් පදනම් කරගෙන නැඟී එන ආසියාව සම්බන්ධයෙන් ඉන්දු-ෆැසිපික් සාගරයේ ව්‍යාපෘති ගණනාවක් දියත් කර ඇති බවත් ඒ තුළ රටේ ස්වෛරීත්වය රැක ගැනීමට නම් අපේ රටේ පාලකයන් මෙන් ම ජනතාව නිරතුරුව කැපවීමෙන් තීන්දු තීරණ ගතයුතු බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස