පාස්කු අපරාධකරුවන්ට දඬුවම් දිය හැක්කේ අපේ ආණ්ඩුවකින් පමණයි..! – අනුර…

April 22, 2022 at 10:23 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ සැබෑ චූදිතයන්ට දඬුවම් දිය හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පමණක් බව එහි නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ ( 21) මීගමුවේ පැවැති රැලියේ දී පැවැසීය.

ඔහු පැවැසුවේ, වත්මන් පාලකයන් යටතේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චූදිතයන්ට කිසිසේත් ම දඬුවම් දීම හා වින්දිතයන්ට යුක්තිය අපේක්ෂා කිරීම ඵල රහිත බවය.

ඊයේ මීගමුව ලෙයිටන් පිටියේදී මෙම රැලිය පැවැත්විණි.

“ප්‍රේමයෙන් කතා කරමු! යුක්ති ධර්මය උදෙසා නොබියව නැගී සිටිමු!” යන ප්‍රධාන සටන් පාඨය සමග පැවැති මෙම උද්ඝෝෂණ රැලියට භික්ෂුන් වහන්සේ, පියතුමන්, මවුලවිතුමන් ඇතුළු අන්‍යාගමික පූජකවරුන් ද, ජවිපෙ නායකයන් හා ජාතික ජන බලවේගයේ නායකයන්, පාස්කු ප්‍රහාරයෙන් අසාධාරණයට පත් මීගමුව අවට ජනතාව විශාල පිරිසක් සහභාගි වී සිටියහ. එහිදී අනුර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සිදු වී ඊයේ දිනට වසර තුනක් ගත වන නමුත් ඝාතනයට පත් වූවන්ට හා එම පවුල්වල සාමාජිකයන්ට රජය කිසිදු සාධාරණයක් ඉටුකර නොමැති බව ය.

ඝාතනය පිළිබඳ සියලු තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකළ පාර්ශ්වය හා ප්‍රහාරය මෙහෙය වූ යන පාර්ශ්ව දෙක ම මීට වගකිවයුතු අතර අද වෙනතුරු ඔවුන් සොයා දඬුවමක් ලබා දී නොමැති වීම ඛේදනීය බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.

විශේෂයෙන් ම වින්දිතයන්ට සාධාරණය නොලැබීම පමණක් නොව මෙම ආණ්ඩුවෙන් ඔවුන්ට සාධාරණයක් තවදුරට ත් බලාපොරොත්තු විය නොහැකි බව ත් ආණ්ඩුව උත්සාහ කරන්නේ වැරදිකරුවන් සොයා දඬුවම් දීම වෙනුවට වැරදිකරුවන් සොයා දුන් අය පසුපස හඹා යාම බව ත් දිසානායක මහතා කීය. මිනී කරමතින් බලයට ආ මෙම ආත්මාර්ථකාමී, බලලෝභී පාලකයන් පලවා හැරීම අනිවාර්යයෙන් කළ යුත්තක් බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.

මෙහිදී සරත් ඉද්දමල්ගොඩ පියතුමා, ජාතික භික්ෂු පෙරමුණේ වකමුල්ලේ උදිත හිමි, මුනීර් මුනෆ්ලර් මවුලවිතුමා ද සිය අදහස් පළ කළහ.

– අනුරාධා හේරත් (මව්බිම)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස