පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාලට දඬුවම් කළ යුතුයි…! ඔහු අද ආණ්ඩුවේ සිටීම නිදහසට කරුණක් නෙමෙයි..!

December 12, 2021 at 7:03 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දඩුවම් කළ යුතු බව තමා අදටත් තමන්ගේ ස්ථාවරය බවත්, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් කොහේ සිටියත්, කුමන තරාතිරමක වුවත් ඔවුන්ට දඩුවම් දිය යුතු බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

ඔවුන් අද ආණ්ඩුවේ සිටියත්, විපක්ෂයේ සිටියත්, සන්ධානයේ සිටියත් ඔවුන් කර ඇත්තේ සමාව දිය නොහැකි වරදක් බවත්, ප්‍රහාරයට වගකිව යුතු අය අද සිටින තැන අනුව වරදේ බරපතලකම වෙනස් නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හෙතෙම මෙසේ පැවසුවේ අද (12) මිනුවන්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිණි.

“පාස්කු ප්‍රහාරයෙන් පසුව පසුගිය ආණ්ඩුව විසින් පත් කල ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් ප්‍රහාරයට වගකිව යුතු අය, එම ප්‍රහාරයේ වගකීම භාර ගත යුතු අය ගැන සදහන් වෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සේනාධිනායකයා, ආරක්ෂක අමාත්‍යවරයා හැටියට මෙහි වගකීම භාරගත යුතුයි.

දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව ඒ තොරතුරු වසන්කර ප්‍රහාරය සිදු වෙන්නට ඉඩ හැරීම අපරාධයක්. ප්‍රහාරයෙන් පසුව ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවල ගැටළු, පාර්ලිමේන්තුවේ තමන්ගේම අය සම්බන්ධ කරගෙන සිද්ධිය යට ගැසීමට දරපු උත්සාහය ගැන මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි.

ඒක මම කවදත් ප්‍රසිද්ධියේ කිව්වා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාව කැඳවූවත් මගේ ස්ථාවරයේ වෙනසක් නැහැ. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව නීතිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි.

මේ සිද්ධියට වගකිව යුතු අය ආණ්ඩුවේ, අපේ පක්ෂයේ, සන්ධානයේ හිටියත් වරද වරදමයි. කාදිනල්තුමා ඇතුළු කිතුනු ආගමික නායකයෝ, කිතුණු ජනතාව වගේම රටේ සමස්ත ජනතාව යුක්තිය බලාපොරොත්තු වෙනවා.

සිද්ධියට වගකිවයුතු අය අද ආණ්ඩුවට එකතු වෙලා හිටියා කියලා අධිකරණ ක්‍රියාදාමයට අත තියන්න ආණ්ඩුවට බැහැ. අධිකරණය ස්වාධීන ආයතනයක්. රටේ ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ පහුගිය ආණ්ඩුව වගේ දේශපාලන නායකයෝ දා ගෙන දූෂණ විරෝධී කමිටු හදලා, එෆ්.සී.අයි.ඩි හදලා දේශපාලන පලිගැනීම් කරන එක නෙවෙයි.

පාස්කු කොමිෂන් සහා වාර්තාවෙන් නිර්දේශ නිකුත් කරලා තියෙනවා. ඒ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි. අපේ ආණ්ඩුව පත් වුණාට පස්සේ තමයි මේ පිළිබඳ පරීක්ෂණ නිවැරදිව ක්‍රියාත්මක කලේ. අදාළ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කළේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විතරක් නෙමෙයි එවකට සිටි අග්‍රාමාත්‍යවරයා, පොලීසිය විෂයභාර ඇමතිවරයා ද මේ සම්බන්ධයෙන් වගකිව යුතු බව මගේ ස්ථාවරයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස