ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු තුළ අනිවාර්යෙන්ම කොවිඩ් වෛරසය අඩංගු අතර ඒවා අක්‍රීය වන දිනයක් හෝ කාලවකවානුවක් සඳහන් කර නොමැති බව ජ්‍යෙෂ්ඨ නීතිඥ විශ්‍රාමික මේජර් චරිත සිරිවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.
එම මළ සිරුරු වලින් කොවිඩ් වෛරසය පැතිර යා නොහැකි බවට ඒත්තු ගැන්වීමක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මගින් සිදු කර නොමැති බවත්, කොවිඩ් ආසාදිත මළ සිරුරුවලින් එම වෛරසය පැතිර යා හැකි බව එම සංවිධානය විසින් 2020.09.04 වැනිදා නිකුත් කළ නවතම මාර්ගෝපදේශ මගින්ම ඒත්තු ගන්වා ඇති බවත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේ ය.
කොවිඞ් 19 වසංගතයට ගොදුරු වී මිය යන මුස්ලිම් භක්තිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබාදෙන ලෙස සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ගොනු කර තිබූ පෙත්සම්වලට එරෙහිව ලිඛිත දේශන ගොනු කරමින් නීතිඥ චරිත සිරිවර්ධන ඒ බව පෙන්වා දුන්නේ ය.
සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කරන ලද 2020.04.11 දිනැති අංක 2170 දරන ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ පෙත්සම්වලට අතරමැදි පාර්ශ්වයක් ලෙස මැදිහත් වෙමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඬුල්ල හමුවේ කරුණු දැක්වූ නීතිඥ චරිත සිරිවර්ධන මහතා කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට යම් පාර්ශ්වයක් ප්රයත්න දරන සැම විට ම රටේ බහුතර ජනතාව තමන්ට එමගින් කොවිඩ් වැළඳේ යැයි භීතියට පත්ව නොසන්සුන්තාවට පත් වන බව ද කියා සිටියේ ය.
මෙම මාරාන්තික වෛරසය නවතම වෛරසයක් වන බැවින් එහි හැසිරීම සහ බෝවීමේ රටාව සම්බන්ධයෙන් දැනට නිශ්චිතව නිගමනය කිරීමට නොහැකි බැවින් ඉන් ආරක්ෂා වීමට උචිත යැයි හැඟෙන ආදාහනය වැනි වැඩිමනත් පියවර ගැනීම වඩාත් හිතකාමී බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම මාර්ගෝපදේශ මගින් මනාව පැහැදිලි වන්නේ යැයි ද නීතිඥ චරිත සිරිවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.
එකී මළ සිරුරු ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීරණය ප්‍රශංසාවට ලක්කරමින් කරුණු දැක්වූ හෙතෙම වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ අන්තවාදීන්ගේ පාස්කු ප්‍රහාරයකට මෑතක දී ගොදුරු වූ රටක් ලෙස එම මළ සිරුරු භූමදානයෙන් පසු අන්තවාදීන් අතට පත්වුවහොත් ඔවුන් ඒවා උපයෝගි කර ගනිමින් කොරෝනා වෛරසය පහසුවෙන්ම මුළු මහත් සමාජය තුළ ව්‍යාප්ත කිරීමට බොහෝ ඉඩකඩ ඇති බැවින් එවැනි මළ සිරුරු භූමදානය කිරීමට ඉඩදීම ජාතික ආරක්ෂාවට පවා බලවත් තර්ජනයක් වන බවයි.