කෘෂි නිෂ්පාදන මත අගය එකතු කරන කර්මාන්ත දිරිගැන්වීමට ප්‍රමුඛතාව දෙනවා! – දැවැන්තත සෝයා තෙල් කම්හලක් විවෘත කරමින් විමල් කියයි…

December 2, 2020 at 5:33 pm | by emanisa.lk

කෘෂි නිෂ්පාදන මත අගය එකතු කළ කර්මාන්ත දිරිගැන්වීම හා ඒවාට අවශ්‍ය පහසුකම් සැලසීම තම අමාත්‍යාංශයේ ප්‍රමුඛතම කාර්යයක් බවත් අදාළ කර්මාන්තකරුවන්ට අවශ්‍ය කෘෂි නිෂ්පාදන නිසි ප්‍රමිතියෙන් හා අඛණ්ඩව ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළක් නුදුරේදීම අරඹන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

අද (02) කුරුණෑගල, උඩුබද්දාව, බිබිලදෙනිය, තල්ගහපොත ප්‍රදේශයේදී සෝයා ඇට යොදා ගනිමින් සෝයා තෙල් පිරිපහදු කිරීම වෙනුවෙන් ඇරඹි අම්රො රිෆයිනර් කර්මාන්තශාලාව විවෘත කරමින් ඔහු මෙසේ පැවසීය.

මෙම කර්මාන්ත ශාලාව දිනකට සෝයා තෙල් කිලෝ 15,000ක නිෂ්පාදන ධාරිතාවකින් යුක්ත වන අතර නිෂ්පාදන කටයුතු සඳහා මසකට අවශ්‍ය වන සෝයා ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6000ක් පමණ වේ.

එය ඇරඹීමත් සමගම මෙරට සෝයා ගොවීන්ගේ නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලැබෙන බවත් ඔවුනට මේ වන විට මසකට සැපයිය හැකි සෝයා ප්‍රමාණය මෙට්‍රික් ටොන් 800ක් බැවින් ඉදිරියේදී සෝයා ගොවීන්ට තම වගා කටයුතු පුළුල් කර විශාල ආදායමක් ලබා ගැනීමේ ඉඩකඩ විවරව ඇති බවත් මෙහි දී වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තම අමාත්‍යාංශය ඉදිරියේදී කෘෂිකර්ම අමාත්‍යාංශය සමග ඒකාබද්ධව කෘෂි නිෂ්පාදන මත අගය එකතු කළ කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් සැලසුම් සහගතව ගොවීන්ගෙන් අවශ්‍ය කෘෂි නිෂ්පාදන ඔවුනට නිසි ප්‍රමිතියෙන් හා අඛණ්ඩව ලබාදීම මගින් මේ වන විට පැන නැගී ඇති ගැටලු නිරාකරණය කර දීමට හැකි වන බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඉදිරි කාලයේදී රට පුරා කර්මාන්ත අමාත්‍යාංශය මගින් කර්මාන්තපුර රැසක් ඇරඹීමට කටයුතු යොදා ඇති බවත් එහිදී කුරුණෑගල අරඹන කර්මාන්ත පුරයෙහි කෘෂි නිෂ්පාදන මත අගය එකතු කර්මාන්ත ඇරැඹීමට කර්මාන්තකරුවන් උනන්දු කරවන බවත් එමගින් දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමේ ඉඩකඩ නිර්මාණය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට අම්රො රිෆයිනර් පෞද්ගලික සමාගමේ සභාපතිවරයා ද එක්ක සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස