ලංකාවෙි කොරෝනා මර්දන වැඩසටහන විශිෂ්ටයි! බොහෝ දියුණු රටවලට වඩා ලංකාව ඉදිරියෙන්! – WHO

July 18, 2020 at 4:35 pm | by emanisa.lk

බොහෝ සම්පත් හා තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටින රටවලට වඩා ඉදිරියෙන් සිටිමින් කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට සමත්වූ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාවද සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය වන වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ ප්‍රකාශ කරයි.

හොඳින් ස්ථාපිත මහජන සෞඛ්‍ය පද්ධතිය සහ විශේෂයෙන් බෝවන රෝග නිරීක්‍ෂණයට රජය විසින් ගෙන ඇති ක්‍රියාකාරී වැඩපිළිවෙළ ඊට හේතුවක් වී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය සඳහන් කළාය.

“වසංගතයේ මුල් අවදියේදී අවශ්‍ය සියලු දේ සැකසීමට ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය මෙහෙයවනු ලැබූ ක්‍රමවේදය උපකාරී වුණා .පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීම සහ යම් හෙයකින් වැඩි පිරිසකට වෛරසය ආසාදනය වුවහොත් ඒ වෙනුවෙන් රෝහල්වල ධාරිතාවන් ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග සැකසීමට අදාළ නිරීක්ෂණ පද්ධතියක් සැකසීම බෙහෙවින් ඉවහල් වන කරුණක් වුවා. පසුකාලීනව විදේශ රටවල සිටින සිය පුරවැසියන්  නැවත මෙරටට ගෙන්වා ගැනීම, නිරෝධායන පහසුකම් සැකසීම ද වසංගතය කල්තියා හඳුනා ගැනීමට සහ සෞඛ්‍ය පද්ධතිවල ධාරිතාව ඉක්මවා නොයන ලෙසට සහතික වෙමින් සියල්ල මනා කළමනාකරණයකින් යුතුව සිදු කිරීමට කටයුතු කරන අයුරු දක්නට ලැබුණා. වසංගතයේ දී අනෙකුත් අංශවල කාර්යභාරය ද තීරණාත්මක බව මම පැවසිය යුතුයි. සැබැවින්ම මෙය සමස්ත සමාජයම හා රජයේ සාමුහික ක්‍රියාවක්. ප්‍රජාවන්ගේ මැදිහත්වීමකින් තොරව වෛරසය පැතිරීම පාලනය කිරීම අපහසු බැවින් ප්‍රජා සහභාගීත්වය ඉතා වැදගත් වනවා” ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය වැඩිදුරටත් කියා සිටියාය.

“මහජන සෞඛ්‍ය සේවකයින් වශයෙන් සහ මහජනතාව වශයෙන් අපගේ ආදරණීයයන් ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා අප සියලු දෙනාගේ කාර්යභාරය ඉටු කිරීම අවශ්‍ය වනවා. වෛරසය පවතින බවින් එය යථා තත්ත්වයට පත්වීම වේගවත් වන මාර්ගයක් පෙනෙන්නට නොමැති අතර සියලු දෙනා එකමුතුව ඒ වෙනුවෙන් වැඩ කිරීමට සිදුවනවා. වෛරසයේ හැසිරීම තීරණය කරන්න හැකිවන්නේ අපගේ හැසිරීම අනුවයි” ඇය තවදුරටත් කියා සිටියාය.

අසත්‍ය ප්‍රවෘත්ති සහ සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු සහ කටකතා ප්‍රතිචාරයන්ට බෙහෙවින් බාධා ඇතිකරවන බව පෙන්වා දුන් මෙරට සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරිය කියා සිටියේ කටකතා අවසන් කිරීමට සහ වෛරසය පරාජය කිරීමට ජනතාවට සෑම විටකම නිවැරදි තොරතුරු ලබා දිය යුතු බවයි. අවශ්‍ය සියලු පුළුල් පියවරයන් අප විසින් ගනු ලැබුවහොත්, වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකිවන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස