මෘතදේහ භූමදානයට අවසර ලැබෙන්නේ විපක්ෂයේ අපි කළ මහා සටන නිසයි….! අභීත නායකත්වය දුන්නේ සජිත්….! – මරික්කාර්….

February 12, 2021 at 9:02 pm | by emanisa.lk

කොරෝනා මෘතදේහ භූමදානයට අවසර ලබා දෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ සිදුකළ ප්‍රකාශය විහිළුවක් බවට පත්කිරීමට කටයුතු නොකරන ලෙස ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ය.

“අපට නම් දේශපාලනයට වඩා ප්‍රමුඛ රට. දේශපාලනය අංක 02. අපේ අංක 01 රට. ඒ නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී අපේ රට බේරෙන්න ඕනේ. අපේ රට බේරගන්න පුළුවන් වෙන්නේ කාටද? පහුගිය කාලෙත් බේරුණේ මැද පෙරදිග රටවල්වල ඡන්දය උපකාරය අපිට ලැබිච්ච නිසා. ඒ නිසා මේ කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට ඉඩ දෙනවා කියූ ප්‍රකාශය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී මැද පෙරදිග ඡන්ද ලබා ගැනීම සඳහා ගුණ්ඩුවක් කරන්න ඉඩ දෙන්න බෑ.

ඒ වගේම, ලබන 22 වන දාට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා එනවා. එතකොට එතුමා ඇවිල්ලා යනකම් කරපු මුලාවක් වෙන්න බෑ. මොකද දැන් මේක ජාත්‍යන්තරයට ගිහිල්ලා ඉවරයි. ඒ නිසා අගමැතිතුමාගේ ප්‍රකාශය ජෝක් එකක් කරන්න එපා කියලා ආණ්ඩුවේ වගකිව යුතු අයගෙන් ඉල්ලා සිටිනවා.

ඒ නිසා අපි කියන්න කැමතියි. ඉම්රාන් ඛාන් මැතිතුමාව මඟහරින්නේ නැතුව ඇත්තටම නම් මේක කිව්වේ, දැන් 22 වන දාට කලින් මේ ගැසට් එක ගහලා තීරණය බලාත්මක කරන්න කියලා අපි ඉල්ලීමක් කරන්න කැමතියි. කොවිඩ් –19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට අවසර දීම විපක්ෂය විසින් දිගින් දිගට ම සිදු කරන ලද අරගලයක ප්‍රතිඵලයක්.

මහින්ද මහත්තයා දන්නවා ජිනීවාවල වෙන්න යන්නේ මොනවාද කියලා ඉවරවෙලා. ඒ නිසා තමයි මහින්ද මහත්තයා මේ නැගිටලා බලෙන් උත්තර දුන්නේ. නිකන් උත්තර දුන්නේ නෑ.

අපි කියන්න කැමතියි. උත්තර දෙන්න වුණේ, සජිත් ප්‍රේමදාස මැතිතුමා විවිධ අවලාද, අපහාස, උපහාසවලට මුහුණ දෙමින් බය නැතුව තමන්ගේ මතය, තමන්ගේ පක්ෂයේ මතය වෙනුවෙන් කෙලින් හිට ගත්තු නායකයෙක් විදියට ශ්‍රී ලාංකික අනන්‍යතාව රකිමින් සිංහල බෞද්ධකමට ප්‍රමුඛතාව ලබා දෙමින් සියලු දෙනාට ම සමානව සලකන නායකයෙක් විදියට එතුමා සහ අපි කණ්ඩායම දිගින් දිගටම කරපු අරගලයක ප්‍රතිඵලයක් මිසක මේක නිකන් අතට දුන්නු එකක් නෙමෙයි.

දැන් මේකේ තියෙන දේශපාලන ජවනිකාවත් අපි පොඩ්ඩක් කියවගන්න ඕනේ. ඒ නිසා මේ බොරු බේගල්, මුසාවෙන්, මුලාවෙන් ආණ්ඩු කරන ආණ්ඩුවට දැන්වත් ඇත්ත ආණ්ඩුවක් විදියට යථාර්ථය තේරුම් අරගෙන මේ රටේ මිනිස්සුන්ව ගොනාට අන්දන්නේ නැතිව රටේ ප්‍රශ්න ජනතාව එක්ක සාකච්ඡා කරලා, වාද විවාද කරලා, ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස