ආණ්ඩුව වරාය ඉඩම් පිට රටවලට විකුණා රට පරාධීන කරන්න හදනවා! – ජවිපෙ

January 1, 2021 at 9:57 pm | by emanisa.lk

ආදායම් මාර්ග අහිමි වීම සහ බඩුමිල ඉහළ යාම නිසා ජනතාව කබලෙන් ළිපට වැටී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ නව වසර උදාව නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නිවැරදි විද්‍යාත්මක දැක්මක් සහිතව සාමුහිකව කටයුතු කරන්නේ නම් ජයගත නොහැකි අභියෝගයක් නොමැති බව ද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

අදාළ නිවේදනය පහත දැක්වෙයි..

ශ්‍රී ලාංකේය ජනතාව 2021 නව වසරට පා තබන්නේ කෝවිඞ් 19 වසංගත තත්වය අවසන් නොවී හා පැතිරෙමින් තිබියදීය. එබැවින් මෙම වසර ආරම්භ වන්නේම ජනතාව ඉදිරියේ ඇති අභියෝගයත් සමගය. එබැවින් නව වසර සුබ නව වසරක් වේ යැයි සිතිය නොහැකි නිසා නව වසරට සම්ප්‍රදායික සුභ පැතීම් ගැලපෙන්නේ නැත.

කෙසේ වෙතත් අප අසුබවාදී විය යුතු නැත. නිවැරැදි දැක්මක් අනුව විද්‍යාත්මකව හා සාමූහිකව ප්‍රයත්නයන් දරන්නේ නම් මිනිසුන්ට විසඳිය නොහැකි ගැටලු නැත. ජයගත නොහැකි අභියෝග නැත. එබැවින් මේ නව වසරේ අප අදිටන් කර ගත යුත්තේ අප ඉදිරිපිට නිර්මාණය වී ඇති අභියෝග ජය ගැනීම සඳහා අලුත් නිවැරදි මඟකට ප්‍රවේශ වීමටය. එලෙස අභියෝග ජය ගැනීමට නව මඟක් ගැනීමට සූදානම්, ඒ සඳහා ඕනෑකම හා ධෛර්ය ඇති සැමට ඒ සඳහා අපි සුබ පතමු. එවිට සියලු ජනතාවට නව වසර සුබ වනු ඇත.

නව වසරේ අප ඉදිරිපිට ඇති අභියෝගය කොරෝනා වසංගත තත්වය පමණක් නොවේ. වසර ගණනාවක සිට වසරින් වසරට අප වෙතට එන තවත් අභියෝග රැසක් තිබේ.

ලංකාවේ ආර්ථිකය වසර ගණනාවක සිට පවතින්නේ ගොඩගත නොහැකි අර්බුදයකය. එම අර්බුදය විසින් රට ණය සාගරයක ගිල්වනු ලැබ තිබේ. ණය ගෙවාගත නොහැකි ආණ්ඩු ඒ සඳහා හිලව්වට ලංකාවේ වරාය, ඉඩම් ඇතුළු වටිනා සම්පත් විදේශ බලවේගයන්ට ලබා දෙමින් සිටියි. මෙමගින් අපේ රට ගොඩනැගිය හැකි අපේ රටේ සම්පත් අපට අහිමි වන අතර අප පරාධීන ජාතියක තත්වයට ඇද දමා තිබේ. අනෙක් අතට ඉඩම් ප්‍රශ්නය විශාල පරිසර විනාශයකටද මඟ හෙළි කර තිබේ. එසේම දරාගත නොහැකි ලෙස දෛනිකව බඩු මිල ඉහළ යාම නිසාත්, ජනතාවගේ ආදායම් බිඳවැටීම නිසාත් ජන ජීවිතය ‘කබලෙන් ළිපට’ වැටී තිබේ. කොරෝනා වසංගතය මෙම තත්වය තවත් උග්‍ර කර තිබේ.

රටේ ජනතාවගේ සාතිශය බහුතරයක් ඉමහත් බලාපොරොත්තු දල්වාගෙන බලයට ගෙනා ජනාධිපතිවරයා හා ආණ්ඩුව වසරක් ඉක්ම යන විටම සිය අසමත්කම පෙන්වා දී තිබේ. ජනතාව වෙනුවෙන් කිසිවක් කිරීමට අසමත් වූ පාලකයින් පසුගිය වසර යොදාගත්තේ තමන්ට බලය වැඩිකර ගනිමින් ඒකාධිපති පාලනයක් ගොඩ නැගීමටය. 20 වැනි සංශෝධනය මගින් බිහිකරගත් එම හිතුවක්කාරී ඒකාධිපති පාලනයෙන් ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරු හා ඇමතිවරුද බැටකමින් සිටිති. වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල ලෙස කටයුතු කළ භික්ෂුන්වහන්සේ ඇතුළු සමහර කණ්ඩායම්වලටද නව ආණ්ඩුව එපා වී තිබේ.

ආණ්ඩුවේ දැක්මක් නැති, දුර්වල හිතුවක්කාරී හා උද්ධච්ච හැසිරීම නිසා ජන ජීවිතය අවුල් වෙමින් තිබේ. කොරෝනා දෙවන රැල්ල පාලනය කිරීමට අසමත්වීම නිසා ජනතාව විශාල පීඩාවකට ලක්ව සිටී. කොරෝනා සඳහා බටහිර හෝ දේශීය වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරනු වෙනුවට ආණ්ඩුව ජනතාව මිත්‍යාවට යොමු කර මහා විනාශයකට පාර කපා ඇත. දරුවන්ගේ අධ්‍යාපනය අවුල් ජාලාවක්ව තිබේ. කර්මාන්ත බිඳ වැටී ඇත. රැකියා අහිමි වී තිබේ. ගොවි ජනයා, ධීවර ජනයා පීඩාවට පත්ව සිටියි. එහෙත් ඒ කිසිවකට විසඳුම් නැති ආණ්ඩුව කල්පනා කරමින් සිටින්නේ තව තවත් බලය වැඩිකර ගැනීම ගැනය.

මෙවැනි වටපිටාවක් තුළ එළඹෙන නව වසර පොදු ජනතාවට කෙසේ නම් සුබ වේද? වසර 73ක් පුරා රැවටීමට ලක්වූ ජනයා මේ වසර තුළද රැවටීම පාලකයන්ගේ උපක්‍රමය වන විට රටට ජනතාවට සුබ වන්නේ නැත. එබැවින් දැන් නව වසර සඳහා කරන සම්ප්‍රදායික සුබ පැතීම්වලට එහා ගිය කාර්යයක් අප සැම හමුවේ තිබේ. ඒ, නව වසර හා අනාගතය සැබෑ ලෙසම සුබ කරගන්නේ කෙසේද යන්නය.

වසර 73ක ලංකාවේ ධනේශ්වර පාලන ඉතිහාසයේ අත්දැකීම් ගුරුකොට ගන්නේ නම්, විශේෂයෙන් ගෙවුණු වසරක අමිහිරි අත්දැකීම පාඩමකට ගන්නේ නම් මේ රැවටීමෙන් මිදී නව දේශපාලන මඟක යාමට ජනතාවට හැකි වනු ඇත. අප ඉදිරියේ පවතින සියලු අභියෝග හා ගැටලු ජයගත හැක්කේ මෙතෙක් රට ඇදගෙන ගිය බංකොලොත් සමාජ ආර්ථික මාවතෙන් වෙනස් වී නව දේශපාලන මඟකට යොමුවන්නේ නම් පමණි. ඒ සඳහා වමේ, ප්‍රගතිශීලී හා සැබෑ දේශප්‍රේමී බලවේගයක් සමග විශ්වාසයෙන් අත්වැල් බැඳගැනීම හැර අන් විකල්පයක් දැන් ජනතාවට නැත.

එබැවින් 2021 නව වසර සියලු අභියෝග දිනන රට හා ජනතාව සැබෑ ජයග්‍රාහී මාවතකට යොමු කරන, අලුත් දේශපාලන තීන්දු ගන්නා වසරක් බවට පත්කර ගන්නා ලෙස සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගෙන්ම ඉල්ලා සිටින අපි එම ජයග්‍රාහී ගමන වෙනුවෙන් නව වසරේ සැමට සුබ පතමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2021.01.01

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස