කුරුණෑගල රාජසභාව නැවත ගොඩනඟන්න සූදානම්!

July 22, 2020 at 7:58 am | by emanisa.lk

දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති, කඩා දැමූ කුරුණෑගල නගරයේ පිහිටි ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල ප‍්‍රතිසංස්කරණය කිරීමට තීරණය කර ඇත. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසන්නේ ආරක්‍ෂක අංශවල සහයෝගය ඇතිව ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බවය.

ඒ සඳහා ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයාද උපදෙස් ලබාදී ඇති බව ඔහු ප‍්‍රකාශ කළේය. කෙසේ වෙතත් එම කටයුතු සිදුවන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ වාර්තාව අග‍්‍රාමාත්‍යවරයාට ලබාදීමෙන් පසුව බව ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අග‍්‍රාමාත්‍යවරයා විසින් පංච පුද්ගල විද්වත් කමිටුවක් පත් කරනු ලැබීය.

ඔවුන්ගේ වාර්තාව ඊයේ (21) දිනට පෙර භාරදිය යුතු බවට දැනුම් දී තිබුණේය. එහෙත් ආචාර්ය සෙනරත් දිසානායක සඳහන් කළේ වාර්තාව ලබාදීම තවත් ප‍්‍රමාද වනු ඇති බවය. කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි 13 වැනි සියවසේ දී ඉදි කළ බව කියන ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනතින් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයකි. මෙහි කොටසක් කුරුණෑගල මහ නගර සභාව විසින් ඩෝසර් කර තිබුණේ ඉකුත් ජූලි 14 වනදා රාත‍්‍රියේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස