කුරුණෑගල රාජසභාව ඩෝසර් කිරීම ගැන හොයන්න අගමැතිගෙන් කමිටුවක්…

July 17, 2020 at 5:34 pm | by emanisa.lk

13 සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් වන පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිලිවලට හානි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අවධානය යොමුව තිබේ.

මෙම පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිලිවලට හානි කිරීම පිළිබඳව වහාම සොයා බලා තමාට වාර්ථාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් සංස්කෘතික අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

ඒ අනුව මෙම පුරාවිද්‍යා භූමියට හානි කිරීම පිළිබඳව සොයාබැලීමට බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර විසින් විශේෂඥ කමිටුවක් පත්කොට ඇත.

කමිටුවේ සභාපතිවරයා වශයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක කටයුතු කරනු ලබන අතර කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්  ආර්, එම් රත්නායක, පුරාවිද්‍යාඥ මහාචාර්ය ටී.බී කුලතුංග සංස්කෘතික අමාත්‍යාංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රසාද් රණසිංහ, සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට මෙම කමිටුවට ඇතුළත් සාමාජිකයින් වන අතර මෙම මස 23 වෙනිදාට පෙර එහි වාර්තාව  ලබා දීමට නියමිතය.

කුරුණෑගල නගරයේ පිහිටි මෙම හානි වූ ගොඩනැගිල්ල පුරාවස්තු ආඥා පනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මෙය දහතුන්වන සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් රාජ සභා ශාලාව ලෙස ද විශ්වාස කරනු ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස