20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇතුළත් කරුණු හතක් නිවැරදි විය යුතු බව සඳහන් කරමින් යුතුකම ජාතික සංවිධානය අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබේ.
එමගින් ඉල්ලා ඇත්තේ කැබිනට් ඇමතිවරුන් ගණන 30කට සහ සෙසු ඇමතිවරුන් ගණන 40කට සීමා කිරීම, ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ඇති ඉඩ අහිමි කරන හදිසි පනත් ගෙන ඒමේ වගන්තිය ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසිරුවා හැරි පසු කැබිනට් ඇමතිවරුන්ට අමතරව රාජ්‍ය ඇමතිවරුන් ද බලාත්මක වීමේ වගන්තිය ඉවත් කිරීම, ඉහළ තනතුරු සහ කොමිසන් සභා පත්කිරීමේ දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා නිර්දේශ අනුව කටයුතු කිරීම, අගමැතිතුමාගෙන් විමසා ඇමති මණ්ඩලය පත්කිරීම, මෙරට පුරවැසියන් නොවන හෝ ද්විත්ව පුරවැසියන් වන අයට මෙරට විධායක ව්‍යවස්ථාදායක තනතුරු දැරිය නොහැකි වන ආකාරයට රෙගුලාසි පැනවීම සහ රජය හෝ පළාත් පාලන ආයතන කොටස්වලින් 50%ක් හෝ ඊට වඩා දරන සමාගම් විගණකාධිපතිගේ විගණනයට යටත් කිරීමය.
රජයට ලබා දුන් දැවැන්ත ජනවරමට සාධාරණය ඉෂ්ට කිරීමට නම් අවම වශයෙන් 20 වන සංශෝධනයෙහි මෙම සංශෝධනවත් කාරක සභා අවස්ථාවේ දී ඉටු කළ යුතු බව යුතුකම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සහ එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවල් විසින් යොමු කර ඇති මෙම ලිපිය මගින් අවධාරණය කර තිබේ.