ගෝඨා මහ ඡන්දෙන් පස්සේ ඇමරිකාව එක්ක MCC අත්සන් කරනවා! එදා අපි අත්සන් කරන්න යද්දි එරෙහි වූ අය ජාතියෙන් සමාව ගතයුතුයි! – ජාතික හෙළ උරුමය

June 17, 2020 at 4:23 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෙරට ජාතික සංවිධාන හා ජාති හිතෛශීන් ලෙස තමන්ව හඳුන්වාගන්නා යම් කණ්ඩායමක් ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිතව තිබූ එම්සීසී ගිවිසුම පිළිබඳව විශාල විවේචනයක් මතු කරන ලදී.

විශේෂයෙන්ම වියත් මග සංවිධානය, රජයේ වෛද්‍ය නිලධාරීත්ගේ සංගමය යන සංවිධානද එසේම විවිධ පුද්ගලයන්ද ඉතා බරපතළ ලෙස අනතුරු අඟවා සිටියේ යම් හෙයකින් එම ගිවිසුම අත්සන් කළහොත් එමගින් අප රට දෙකඩ වන බවත්, රටෙන් කොටසක් ඇමරිකාවේ යටත් විජිතයක් වන බවත්ය.

ඔවුහු එසේ ශ්‍රී ලංකාව දෙකඩ වන ආකාරය පිළිබඳව සිතියම් පවා උපයෝගී කර ගනිමින් ඉතා සංවේදී අයුරින් විස්තර කරන ලදී. එක් භික්ෂූන් වහන්සේනමක් නිදහස් චතුරශ්‍රයේදී උපවාසයක්ද ආරම්භ කළහ. ඔවුන් පුන පුනා ප්‍රකාශ කර සිටියේ රටට බියකරු විපත් ඇති කරන එම එම්සීසී ගිවිසුම කිසිසේත්ම අත්සන් නොකළ යුතු බවයි.

මේ අයගේ එකී විග්‍රහයන් විශ්වාස කළ සහ ඉන් බියට පත් වූ විශාල ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීමට කටයුතු කළේ ඔහු එම ගිවිසුම අත්සන් නොකරන බවට ඔහුත්, පෙර කී සංවිධාන සහ පුද්ගලයනුත් ඍජුව සහ වක්‍රව සහතික වීම නිසාය යන්න නොරහසකි.

නමුත් බලයට පත් වීමෙන් පසුව රාජපක්ෂ මහතා දැන් කටයුතු කරමින් සිටින්නේ ඊට සපුරාම පටහැනි ලෙසටය. ඔහු බලයට පත් වූ විගසම, පෙර පොරොන්දු වූ ලෙසට ගිවිසුම කුණු කූඩයට දමනවා වෙනුවට ඒ ගැන තවදුරටත් සොයා බලන්නට ආචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කරන ලදී. එක අතකින් ඉතාම අහිතකර යැයි කියූ ගිවිසුමක් ගැන තවත් බලන්නේ මොනවාද යන්නම විමතියට කරුණකි. අනෙක් අතට, අදටත් ඒ වාර්තාවේ නිර්දේශ රටට ඉදිරිපත් කර නැත. නමුත් පුදුමයට මෙන් එම්සීසී ගිවිසුමට විරුද්ධව ඒ කාලයේ මාරාන්තිකව විරෝධය පලකල පිරිස් මහා නිහඬතාවක ගිලී සිටියහ.

ඒ අතර පසුගිය දිනක ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රකාශ කර ඇත්තේ මේ ගිවිසුම ගැන තීරණය කිරීම මහ මැතිවරණයෙන් පසුව සිදු කිරීමට ඉඩ දෙන ලෙස ශ්‍රී ලංකා රජය ඇමරිකාවෙන් ඉල්ලා ඇති බවයි.

තීරණය ගැනීම පමා කරන්නේ මහ මැතිවරණයෙන් පසුවට නම් ආණ්ඩුව මේ කරන්නට යන්නේ කුමක්ද යන්න ඉතා පැහැදිලිය. මේ සැරසෙන්නේ ඡන්දය තෙක් ජනතාව මුලා කොට තබා අනතුරුව ඉතා අහිතකර යැයි කියූ ඒ ගිවිසුම අත්සන් කරන්නටයි.

එය නොතේරෙන්නට නම් යමෙකු ළදරුවෙකු විය යුතුය. දැන් අප අසන්නේ වියත් මග, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, තිස්ස ජනනායක ගුරුතුමා සහ උපවාස කළ භික්ෂූන් වහන්සේ වැනි පිරිස් මේ ගැන කියන්නේ සහ කරන්නේ කුමක්ද යන්නයි.

දැන් එම්සීසී ගිවිසුම අහිතකර නැත්ද, මේ ආණ්ඩුව කරන විට එමගින් රට බෙදෙන්නේ නැත්ද, මේ ආණ්ඩුව කරන විට රටෙන් භාගයක් ඇමරිකාවට යටත් වෙන්නේ නැත්ද? එසේ නොවේනම් ඔබලා කරන ලද ව්‍යාජ රඟපෑම සම්බන්ධයෙන් ඔබලා මේ රටේ මහජනතාවගෙන් සමාව ගන්නට සූදානම්ද?

දේශප්‍රේමය සහ ජාතිමාමකත්වය වත්මනෙහි කොතෙක් පටු අරමුණු වෙනුවෙන් අපයෝජනයට ලක්කරන්නේද යන්න, මේ එම්සීසී නාටකය ඇසුරෙන්ම අවබෝධ කර ගන්නා ලෙසට මේ රටේ බුද්ධිමත් මහජනතාවගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

මෙයට
සසුන්ලැදි

දර්ශනපති හැඩිගල්ලේ විමලසාර හිමි
සම සභාපති

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස