ජනාධිපතිවරයා ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් කරනවා! – පී. හැරිසන්

May 18, 2020 at 8:55 am | by emanisa.lk

ජනාධිපතිවරණ සමයේ යකෙක් කරගෙන සිටි එම්සීසී ගිවිසුමට ජනාධිපතිවරයා ඉදිරියේදී අත්සන් කිරීම ස්ථිර යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් පවසයි.

ඔහු මේ අදහස් පල කළේ පෙරේදා (16) දින දඹුල්ලේ දී මාධ්‍ය හමුවක් අමතමිණි.

එසේම මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට නිසා මෙලෙස හිතු මතේ මුදල් වියදම් කිරීම මගින් ජනාධිපතිවරයාට ප්‍රශ්න ඇතිවෙනවා මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට වන්දි ගෙවීමට සිදුවෙන බවත් හෙතෙම පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

පහුගිය දවස්වල මහ මැතිවරණය පැවැත්වීම සහ පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය විවිධ චෝදනා එල්ල කරනවා. අපිට දොස් පරොස් කියනවා බණිනවා. ඇයි ආණ්ඩුව පරණ පාර්ලිමේන්තුව කැඳවන්න මේ තරම් බය? ජනාධිපතිතුමාගේ විධායක බලතළ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නැතිනම් සැප්තැම්බර් මාසේ දෙවැනිදා වෙනකම් පාර්ලිමේන්තුව තියෙනවා.

අද වෙද්දි විදේශාධාර රැසක් ඇවිල්ල තියෙනව කොරෝනා අරමුදල වෙනුවෙන් මිලියන දහසකට අධික මුදලක් හම්බෙලා තියෙනවා. මේ රටට ලැබිච්ච මුදල් වගේම වැය කරන මුදල් සම්බන්ධයෙන් නියමිත විදියට පාර්ලිමේන්තු අනුමැතිය ගත යුතුයි.

ඊ.ටී.එෆ්. එකේයි ඊ.පී.එෆ්. එකෙයි මුදල් ජනතාවගේ මුදල් ඒව ගන්නවා නම් පාර්ලිමේන්තු අනුමැතිය තිබිය යුතුමයි. ඒ කිසි දෙයක් නැතුව මේ අය මේ මුදල් පරිහරණය කරනවා. ජනාධිපතිතුමාටත් මුදල් පරිහරණය කරන්න සීමාවක් තියෙනවා. මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් එතුමාටත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා.

මේ විදියට රාජ්‍ය නිලධාරීනුත් හිතුමතේ මුදල් වියදම් කිරීමක් කළොත් වන්දි ගෙවන්න වෙනවා. ඒ අයවත් ආරක්ෂා කරගන්න මේ සියල්ල වෙනුවෙන් තමයි අපි කියන්නේ පාර්ලිමේන්තුව කැඳවල ඒ අණ පනත් සම්මත කරගෙන මේ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ගන්න කියල.

දැන් ඒත් ජනාධිපතිවරයා මැතිවරණය සම්බන්ධයෙන් නිකුත් කරපු ගැසට් නිවේදනය ඊයේ අවසන්. කථානායකතුමාට බලය පවරන්න හරි එහෙම නැත්නම් අලුතෙන් ගැසට් නිවේදනයක් නිකුත් කරන්න ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා.

අද රටේ පොහොර නෑ ගොවියා අසරණ වෙලා. කෘෂිකර්මාන්තය කරන්න කියනවා ඒත් වගා කරන්න අවශ්‍ය පොහොර ටික කලට වේලාවට නැතුව කොහොමද ගොවියෝ වගා කරන්නේ. ලේකම්වරයා කියනවා අවශ්‍ය තරම් පොහොර තියෙනවා කියලා. එහෙනම් ඒවා එයාගේ ගෙදර ඇති. දැන් කියනවා අනවශ්‍ය විදිහට පොහොර භාවිත කරනවාලු. මේ ගොවියන්ට ඔළුවෙ අමාරුවක් තියෙනව ද අනවශ්‍ය විදිහට පොහොර දාන්න. පොහොර වලට නියමිත සැලැස්මක් ආණ්ඩුව හැදුවේ නැත්තං ගොවියා කබලෙන් ළිපට වැටෙනවා යැයිද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස