හය මාසෙකට කලින්ම මරණ දඬුවමට එරෙහිව වූ ලංකාව දැන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නින්දාවක්! – බ්‍රිතාන්‍යය

June 27, 2019 at 9:15 pm | by emanisa.lk

මීට මාස හයකට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ ගෝලීය ක්‍රමවේදය අනුගමනය කරන බවට ඡන්දය ප්‍රකාශ කොට එම ප්‍රතිපත්තියට පටහැනිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට හානියක් බව එක්සත් රාජධානියේ විදේශ කටයුතු කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“මරණ දඬුවම ක්‍රියාත්මක නොකරමින් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවත්වාගෙන පැමිණි ක්‍රමවේදය නවත්වමින් ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අපි දැඩි සැලකිල්ලකින් පසුවෙමු. ප්‍රතිපත්තියක් ලෙස ඕනෑම අවස්ථාවක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එක්සත් රාජධානිය විරුද්ධය.

ශ්‍රී ලංකාව මීට මාස හයකට පෙර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ ගෝලීය ක්‍රමවේදය අනුගමනය කරමින් ඊට පක්ෂය ඡන්දය ප්‍රකාශ කළේය. එම ප්‍රතිපත්තිය වෙනස් කරමින් ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව රටක් ලෙසත් සංචාරක නවාතැනක් ලෙසත් එමෙන්ම ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට එමින් දිනාගෙන තිබෙන ජාත්‍යන්තර කීර්ති නාමයට හානි කරන්නකි. ඒ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එක්සත් රාජධානියට ප්‍රතිත්‍රස්ත, ආරක්ෂාව සහ අනෙකුත් අංශවලදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට දුෂ්කර කරනු ඇත. එමෙන්ම ආරක්ෂාව සහ අනෙකුත් අංශවලට ලබාදී තිබෙන තාක්ෂණික සහාය සම්බන්ධයෙන් නැවත විමසා බැලීමට සිදුව තිබේ.

මේ නිසා මේ සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවෙමු. එමෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක නොකරමින් ශ්‍රී ලංකාව මෙතෙක් පවත්වාගෙන පැමිණි ක්‍රමවේදය ඉදිරියටත් පවත්වාගෙන යන්නැයි ද අපි ඉල්ලා සිටිමු”.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස