සිපෙට්කො වර්ජකයින්ට අනිවාර්ය නිවාඩු..! තෙල් බෙදා හැරීම් හමුදාව යටතට..!

March 29, 2023 at 9:11 am | by emanisa.lk

ඛනිජ තෙල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති විරෝධතා සම්බන්ධයෙන් කලබල නොවන්න යි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටියි. රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග රට තුළ පවතින අතර බෙදා හැරීම් අඛණ්ඩව සිදු කරමින් පවතින බවද හෙතෙම කියා සිටී.

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් විසින් මෙතෙක් රාජකාරියට පැමිණීම බලහත්කාරයෙන් බාධා කර තිබූ සේවක සේවිකාවන්ට තම රාජකාරියට පැමිණීමට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට පොලිසිය හා හමුදාව යොදවා ඇති බව ද ඔහු පවසයි.

ඒ අනුව මෙතෙක් ප්‍රමාද වී පැවති ඉල්ලන බෙදා හැරීමත්, බෙදාහැරීමේ පර්යන්තවලට අවශ්‍ය ආරක්ෂා ලබා දීමටත් ආරක්ෂක අංශ කටයුතු කරමින් ඇතැයි ද ඔහු සඳහන් කරයි. මේ වන විට තෙල් සංස්ථාවේ කොළොන්නාව නිමාවෙන් හමුදා ආරක්ෂාව සහිතව ඉන්ධන බවුසර් පිටත් කිරීමට පියවර ගෙන ඇත.

නිමාවෙන් පිටත් වන සෑම ඉන්ධන බවුසරයක් සඳහා ම යුද හමුදා ආරක්ෂාව ලබා දී ඇත. මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථා සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සභාපතිවරුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉන්ධන බෙදා හැරීම් අඛණ්ඩව සිදුවන බවත් සේවයට බාධා කළ සේවකයින් අනිවාර්ය නිවාඩු යවා ඔවුන්ට ආයතන පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කළ බවත් ය.

මේ අතර අද පස්වරුවේ අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් මගින් කියා සිටියේ රාජකාරි සඳහා පැමිණෙන තෙල් සංස්ථා සේවකයන්ට බාධා කරන වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සේවයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ගන්නා ලෙස තමන් විසින් දැනුම් දුන් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස