සහරාන් ගැන විමර්ශන කරන්න එපා කියා මෛත්‍රී පූජිත්ට කීවා! – ආරක්ෂක ලේකම්

September 22, 2020 at 7:55 am | by emanisa.lk

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සිදු කරන බැවින් එම විමර්ශන සිදු නොකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට උපදෙස් ලබා දී තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ (21) පාස්කු කොමිසම හමුවේ කියා සිටියේය.

එම හේතුවෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරමින් තිබූ විමර්ශන අඩපණ වූ බවත් එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ නාලක සිල්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සිදු කළ බවද ඔහු කොමිසම හමුවේ කියා සිටියේය.

එම හේතුවෙන් සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත පිරිස් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් 75%කට වැඩි ප්‍රමාණයක් සිදු කළේ රාජ්‍ය අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන බවත් කියා සිටි හේමසිරි ප්‍රනාන්දු ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ සහරාන් ඇතුළු ත්‍රස්ත පිරිස් සම්බන්ධයෙන් වන තොරතුරු බෙදා ගන්නේ නැති බවට පැමිණිලි ඉදිරිපත් කළ බවත් හිටපු හමුදාපති මහේෂ් සේනානායක ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන ලෙස තමන්ට දැනුම් දුන් බවත් කොමිසමට කීවේය.

“මටත් නිලන්ත ජයවර්ධන හැම වෙලාවෙම දන්වා තිබෙනවා. බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළ බව. මම ජනාධිපතිවරයා තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කරන විට ජනාධිපතිවරයා කියා තිබෙනවා නිලන්ත කියූ බව. නිලන්ත ජයවර්ධන මට එවා තිබෙන්නේ හුදු වාර්තා පමණයි. නිර්දේශ මොනවත් ඉදිරිපත් කරලා නැහැ. මම බුද්ධි විශ්ලේෂකයකු නෙවෙයි. මට කරුණු කියා කළ යුතු දේ කවදාවත් සාකච්ඡා කළේ නැහැ. ප්‍රහාරයක් වන බවට ලත් තොරතුරු පවා 2019.04.08 බුද්ධි රැස්වීමේ කතා කළේ නැහැ. මම කියන්න කිව්වාම තවත් සොයාගෙන යනවා සවිස්තරාත්මක වාර්තාවක් එවන්නම් කියලා කිව්වා. මේ ප්‍රහාරයේ වගකීම රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ගන්න ඕන.”

හේමසිරි ප්‍රනාන්දු මේ බව කියා සිටියේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සිදු කළ සාක්ෂි විමසීම් සඳහා පිළිතුරු ලබා දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස