සජබ විරෝධතාකරුට පොලිසිය පොලුවලින් පහර දී මරා දැමූවා ද..?

November 17, 2021 at 2:01 pm | by emanisa.lk

පොලිසිය සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට පැමිණි තරුණයකු අත්අඩංගුවට ගෙන පහරදී මරා දමා ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සිදු කරන චෝදනාව පට්ටපල් බොරුවක් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියාර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය.

පනාමුරේ පදිංචි ඉන්දික ජයරත්න නැමැති මෙම පුද්ගලයා මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූවකු බවත් ඔහු නිතරම බිරිඳට සහ දරුවන්ට පහර දෙන බවට පැමිණිලි ලැබී තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.

තමාට පොල්ලකින් පහර දුන් බවට එම තැනැත්තාගේ දුව පසුගිය 12 වැනි දා පොලීසියට පැමිණිල්ලක් කර රෝහල්ගතවී සිටින බව පැවසූ ඇමැති වීරසේකර එදින සිට මේ තැනැත්තා අතුරුදන්ව සිට ඇතැයි ද පැවසුවේය.

සැඟ වී සිටිය දී පොලීසිය මොහු ඊයේ (16) රාත්‍රී 10 ට පමණ අත්අඩංගුවට ගත් බවත් ඊයේ අලුයම සිරමැදිරියේ ඇඳුමකින් ගෙල සිරකර ගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේ දී පොලීසිය ඔහු රෝහල්ගත කර ඇති බවත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවත් සරත් වීරසේකර අනාවරණය කළේය.

මොහු සහ පෙළපාළිය අතර කිසිදු සම්බන්ධයක් නැති බව පැවසූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිසියට එරෙහිව කරන මෙම චෝදනාව අමූලික බොරුවක් බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *