සජබෙ රැලියට බෝම්බ ගහනව කිව්වේ පිස්සෙක් ලු…!

November 17, 2021 at 9:01 am | by emanisa.lk

සමඟි ජන බලවේගය මඟින් ඊයේ (16) කොළඹ දී පැවැත් වූ විරෝධතා රැලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට විපක්ෂ නායක කාර්යාලයට තොරතුර සැපයූ පුද්ගලයා මන්ද මානසික රෝගියකු බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ති⁣බේ.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ විමර්ශනයක් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙය අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබූ බෑගයක මෙවැනිම විවිධ කරුණු සටහන් කළ කඩදාසි කැබලි රැසක් තිබී සොයාගත් බවත් මොහු මෙවැනි කඩදාසි කැබලි කොළඹ නගරයේ විවිධ ස්ථානයන්හි බෙදා හරිමින් නගරය පුරා සැරිසරන අයකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද හෙතෙම කීවේය.

විපක්ෂ නායක කාර්යාලයට පැමිණ ඇති ⁣සැකකරු යමක් ලියූ කඩදාසියක් භාර දී පිටව ගොස් ඇති බවත් එම කඩදාසියේ (16) විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වෙන විරෝධතා රැලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවත් ඊට අදාළ වැඩිදුර තොරතුරු බස් රථයකින් ලබාගත හැකි බවත් සඳහන් වූ බව විපක්ෂ නායකවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කරමින් පසුගියදා (09) දන්වා තිබිණි.

පැමිණිල්ල සහ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය සහ කුරුඳුවත්ත පොලිසිය මඟින් සිදු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *