සංචාරකයෝ රටට ඩොලර් අරන් එද්දී සමහරු දරුවෝ උස්සං පාරට පැනලා විරෝධතා කරනවා…!

October 16, 2022 at 11:49 am | by emanisa.lk

විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර පුවත්පතක් සමග පැවැත් වූ සාකච්ඡාවකි.

විදේශ රැකියා සම්බන්ධයෙන් අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කළා. මොකක්ද ඒ?

ගාල්ලෙන් තමයි පටන් ගන්නේ. හැබැයි රට වටේම යන්න බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ රටේ කම්කරුවන්ගේ ප්‍රශ්න වගේම රැකියා ප්‍රශ්න කතා කරන්න. දේශීය රැකියා, විදේශ රැකියා බලාපොරොත්තු වන අය වගේම රැකියාගත වී ඇති අය ඒ හැමෝටම බලපාන ප්‍රශ්න සහ ඒගොල්ලොන්ගේ වෘත්තීය ක්ෂේත්‍රවලදි බලපාන සියලුම කාරණාවන් එක වහලක් යටදී කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒක තමයි ‘ග්ලෝකල්’ කියලා කියන්නේ. එතැනදී අපි බලාපොරොත්තු වෙන්නෙ රටේම තියෙන ඊළඟ ජවය ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රම බළකාය මත. අන්න ඒ ශ්‍රම බළකාය ශක්තිමත් කිරීම, දැනුවත් කිරීම, ආරක්ෂා කිරීම, ශ්‍රම බළකායේ ප්‍රශ්න මේ සියල්ල එක තැනකින් විසඳෙන කන්සෙප්ට් එකක් තමයි මේ පටන් ගන්නේ. මේක ගාල්ලෙන් පටන් ගත්තාට රට වටේම යන්න තමයි බලාපොරොත්තුව.

ගාල්ල කියන්නේ ඔබේ මැතිවරණ දිස්ත්‍රික්කය. මේ කරන්න හදන්නේ තවත් ඡන්ද කැම්පේන් එකක්නේ?

කිසිසේත්ම නෑ. මේ දේශපාලනයක් නෙමෙයි. ගාල්ල, මාතර, හම්බන්තොට, දකුණු පළාතටම මේක විවෘතයි. හැබැයි බොහෝ වෙලාවට අහනවා ඉතින් ලංකාවේ අනෙක් අයටත් සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. අපි එහෙම නීති, තහංචි දාලා නෑ. හැබැයි අපි ඔබේ ළඟට එනවා. මේ වැඩසටහනේදී වඩාත් පහසු ඔබේ ගමට එන ව්‍යාපෘතියෙන් සේවාව ලබා ගන්නයි. අපි ඔබේ ළඟට එනවා. අපි ළඟට එන්න බලාපොරොත්තු වෙනවා. මොකද මෙතැනදී ඊ.ටී.එෆ්. හදා ගන්න කම්කරු දෙපාර්තමේන්තුව ගමට එනවා. ඒ වගේම මහ බැංකුවත් ගමට එනවා. පොලිස් සහතිකය සහතික කරන්න විදේශ කටයුතු අමාත්‍යාංශයත් එනවා. ගමින් ගමට පළාත් මට්ටමින් අපි මේක ක්‍රියාත්මක කරනවා.

රැකියා සඳහා විදෙස්ගත වීමේදී අධික මුදලක් වැයවීම ගැන විශාල කනස්සල්ලක් ශ්‍රමිකයන්ගෙන් මතුවෙලා. ඒකට විසඳුමක් දෙන්න බැරිද?

මෙහෙමයි. නොමිලේම රට යන්න පුළුවන් රැකියා අවස්ථාත් තියෙනවා. සල්ලි ගෙවන්න ඕනේ නැති අවස්ථාත් තියෙනවා. ඒ වගේ සමහර කාන්තාවන් රට යනකොට රට යන කෙනාට ඒ ඒජන්සිය සල්ලි ගෙවන අවස්ථාත් තියෙනවා. ඒ වගේම සමහර රටවලට යනකොට මුදල් ගෙවන්න වෙනවා. මොකද ඒ රැකියා ලබා දෙන විදේශ ඒජන්තවරුන්ට අපිට සල්ලි දෙන්න වෙන නිසා. හැබැයි එහෙම ගෙවද්දි වෙනදා තිබුණේ ඩොලර් 2000යි නම් දැන් ඩොලර් 2000ක් ගෙවනකොට අපි රුපියල්වලින් ගත්තාම ඒ ප්‍රමාණය විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. ඒක තමයි මේ මුදල් වැඩි වීමේ ප්‍රධාන ප්‍රශ්නේ.

ඒ වැඩි වීමේ ප්‍රමාණය කොහොම වුණත් බැංකු හරහා ණය ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා. බැංකු රාශියක් මේ වෙනකොට පිටත් වීමට පෙර ලබාදෙන ණය විදිහට මේ ණය ලබා දෙන්න කටයුතු කරනවා.

විදේශගත රැකියා සම්පාදනයේදී රාජ්‍ය නියාමනය නිසියාකාරව සිදුනොවන බවට නැඟෙන චෝදනාව ඔබ පිළිගන්නවාද?

ඒජන්සි ආයතන සියල්ල නියාමනය වෙනවා. ඒජන්සිවලින් පිටින් යන එක තමයි මේ නියාමනය නොවෙන්නේ. ඒ කියන්නේ ඒක නියාමනය කරන්න විදිහක් නෑ. මේ අයගෙන් කවුරු හරි වැරැද්දක් කළොත් අපිට තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න. අපිට තමයි නියාමන අධිකාරි බලය තියෙන්නේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය එතැනදී නියාමනය කරනවා. ඒ අයගේ වැරදි නිරීක්ෂණය වූ විගස ඒ අයගේ ලයිෂන් එක අහෝසි කරනවා. ඒ අයව හිරභාරයට ගන්නවා. ඒ අය වැරදි කළොත් අපි දඬුවම් කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වැරදි බහුතරයක් සිද්ධ වෙන්නේ මේ ලියාපදිංචි විදේශ රැකියා ආයතනවලින් නෙමෙයි. වෙනම මාෆියා තියෙනවා. විදේශ රැකියා නියෝජිත ආයතන නොවන වෙනත් කණ්ඩායම් එක්කෝ ගුවන් තොටුපළ හරහා යවනවා. එහෙමත් නැත්තම් විසිට් වීසා විදිහට යවනවා. ලියාපදිංචි කරන්නේ නැතිව විදේශ රැකියා ආයතනවලින් තොරව වෙනම යවන වැඩපිළිවෙළක් තියෙනවා.

ඉතින් ඒක මාෆියාවක්. ජාවාරමක්. මිනිස් වෙළෙ¼දාමක්. ඉතින් ඒකට විරුද්ධව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක විදේශ රැකියාගත කිරීමම නෙමෙයි. මේක වෙන විෂයක්. මේක මගේ විෂය පථයට එන්නේ නෑ. හැබැයි ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න වැඩකටයුතු කරනවා.

මේ විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් සම්බන්ධයෙන් දඬුවම් දෙන්න යන කතාව මොකක්ද?

විදේශගත ශ්‍රමිකයා ලංකාවට නීත්‍යනුකුලව එවන මුදල් බදු මුදලකට යටත් වෙන්නේ නෑ. කිසිම බද්දකට අහුවෙන්නේ නෑ. විදේශගත ශ්‍රමිකයා නීත්‍යනුකූල මාර්ගයෙන් මුදල් එවනවා නම් බදු අය කරන්නේ නෑ. හැබැයි විදේශගත ශ්‍රමිකයා වැරදි පාරවල්වලින් ලංකාවට සල්ලි එවලා තියෙනවා නම් ඒ උණ්ඩියල්වලින්. ඒවා තමන්ට පෙන්නන්න බැරි මුදල් හැටියට සලකලා නඩු දාන්න පුළුවන්. උණ්ඩියල් හරහා ගෙයක් හදලා ඒ ගේ හදන්න සල්ලි ගෙනාවේ කොහොමද කියලා බැංකුවට පෙන්නන්න හැකියාවක් නැතිනම්, බැංකුව හරහා විදේශගත ශ්‍රමිකයාටත් බදු ගහන්නත් පුළුවන්. නීතිය ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. ඒ වගේම මුදල් විශුද්ධිකරණ පනත යටතේ වගේම බදු පනත යටතේත් ලංකාවේ බදු අය කර ගන්නත් පුළුවන්. නිවැරදිව බැංකුව මාර්ගයෙන් ගෙනාවේ නැත්තම්.

රජයට ආදායම ඕනෑ කියලා රටේ සියලු දෙනා පිටරට යැව්වාම රටේ ශ්‍රම බළකායට මොකද වෙන්නේ?

රටේ ඉන්න ශ්‍රම බළකාය හරිහමන් රැකියාවල යෙදිලා ඉන්නවා නම් එහෙම නැත්තම් ඒ අයට ගැළපෙන වැටුප් ලැබෙනවා නම් ඒ අය පිටරට යන්නේ නෑනේ. ඒ අයට අඩුපාඩුවක් තියෙන නිසානේ රට යන්නේ. ආර්ථික ප්‍රශ්න මේ සියල්ලට හේතුවයි.

ඒ වගේම රැකියාවල් කරනවා කියා රැකියාවට වඩා වැඩේ නොකර ඉන්න අය ඕනේ තරම් ඉන්නවා. මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්නවා සියයට තිහක් හතළිහක්. ඉන්නේ අකාර්යක්ෂම ගෙදර යා යුතු පිරිසක් යැයි සමාජයේ විවේචනයක් මතුවෙලා තියෙන්නෙත් ඒ නිසයි. අනෙක් ක්ෂේත්‍රවලටත් මේ තත්ත්වය අද වන විට බලපා තිබෙනවා. එනිසා මේ කියන ආකාරයේ බලපෑමක් රටේ ශ්‍රම බළකායට මතුවේ යැයි මම විශ්වාස කරන්නේ නෑ.

එතකොට ආර්ථික විද්‍යාඥයන් කියන රටේ බුද්ධිගලනය බොරුවක්ද?

බුද්ධි ගලනයක් මේ හරහා සිද්ධ වෙනවා. අපි විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හරහා හෝ අපේ අමාත්‍යාංශය හරහා දෙන රැකියාවලට නෙමෙයි මේක බලපාන්නේ.

මේ වෙලාවේ ස්ථිරවම පදිංචියට රට යන විශාල පිරිසක් ඉන්නවා. අන්න ඒ අය හරහා බුද්ධි ගලනයක් අනිවාර්යන්ම සිද්ධ වෙනවා. අපි රැකියාවලට පිටත් කරන අය නම් නැවත ලංකාවට එන අයයි. පසුගිය දවස්වලදී හැබැයි වෙනත් විශේෂ වෘත්තිකයෝ රට අතහැර යන තත්ත්වයක් තිබුණා. ඒක පසුගිය කාලයේ මේ රටේ පැවැති භයානක තත්ත්වයක්. ඉතින් ඒ අය නැවැත එන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි කියන්නේ කමක් නෑ. අපි ඉක්මනින් රට යථා තත්ත්වයට පත් කරනවා. ඉක්මනින් ලංකාවට එන්න කියලා තමයි ගියපු අයටත් කියන්නේ. මොකද රටේ මේ වෙලාවේ රැකියා අහිමි වීම් ප්‍රමාණය ඉතාමත් වැඩියි. කර්මාන්තශාලා වැහුණා. තවමත් වැහෙමින් පවතිනවා. එතකොට ගොඩක් අය මේ වෙලාවේ රැකියා අහිමිවීමේ ප්‍රවණතාවකට මුහුණදීලා ඉන්නවා. කොහොම වුණත් අපේ වැඩපිළිවෙළ එක්ක කිසිසේත්ම බුද්ධිගලනයක් වෙන්නේ නෑ. ශ්‍රම බළකායට හානියක් වෙන්නෙත් නෑ.

විදෙස්ගත වීමක් සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒ සඳහා රජයෙන් කිසිදු සහනයක් ජනතාවට නැද්ද?

දැන් හුඟාක් අය හිතාගෙන ඉන්නවා සල්ලි දීලා රට යන්න පුළුවන් කියලා. ගොඩක් අය හිතාගෙන ඉන්නවා හිතවත්කමකට, යාළුකමකට, මිත්‍රකමකට රට යන්න පුළුවන් කියලා. එහෙම බෑ. හරි වැටුපක් ලබා ගන්න පුළුවන් හොඳ රස්සාවකට යන්න නම් ඒ සඳහා අවශ්‍ය පුහුණුව ගන්නම ඕනෑ. කොරියා යනවා නම් ඒ කොරියා භාෂා ප්‍රවීණතාව හදාගෙන එතැනින් පස්සේ තියෙන විභාගයට වාඩි වෙලා තමයි යන්න ඕනේ. ඒකට කාටවත් අත දාන්න පුළුවන් වැඩක් නෙමෙයි. විභාගය සමත් වුණත් කොරියානු ආයෝජකයකු ඔබව තෝරාගන්න ඕනෑ. විභාගය සමත් වූවන්ගේ තොරතුරු එතෙක් රජයේ නිල වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඇතැම් රටවල විශාල වශයෙන් රැකියා ඇබෑර්තු තිබෙනවා. ඒකට හොඳම උදාහරණය ජපානය.

හරි විදිහට මාස තුන හතරක් මහන්සි වෙලා මේ වැඩ ටික කරගත්තොත් ලංකාවේ අයට ජපානයෙන් විතරක් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. 2030 වෙන කොට ජපානය තමන්ගේ රටට විදෙස් ශ්‍රමිකයන් ලක්ෂ 65ක් අපේක්ෂා කරනවා. ඒ කියන්නේ ලක්ෂ 65ක ජොබ්ස්.

එතකොට ඒකේ යම් ප්‍රමාණයක් අපිට යවන්න පුළුවන් අපේ අය සූදානම් වුණොත්. ඒකට දැන් ඉඳලා සූදානම් වීමක් තියෙන්න ඕනේ. භාෂාව ඉගෙනගන්න ඕනේ. වෘත්තීය දැනුම ලබන්න ඕනේ. ඒ විභාගය පාස් වෙන්න ඕනේ. විභාගය පාස් වෙන ළමයි සියලු දෙනාව අපිට රැකියා ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කරන්න ඕනේ සල්ලි වියදම් කරන එකවත් එහෙම නැත්තම් කෙටි මාර්ග හොයන එකවත් වංචාකාරයොන්ට අහුවෙන එකවත් නෙමෙයි. හරි පුහුණුවක් ලබා ගත්තොත් අනිවාර්යන්ම විදේශ රැකියාවක් ලබා ගන්න පුළුවන්.

මේ පුහුණුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබා දෙනවාද?

විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ නියාමන අධිකාරියක් වුණත් අපි පුහුණු වීම් කරනවා. භාෂා පුහුණුවත් අපි හරහා ලබා දෙනවා. නමුත් අපි කියන්නේ රටේ මේ වෙලාවේ තියෙන සියලු වෘත්තීය පුහුණු ආයතන මේ ජාතික වගකීමට කරඋර දෙන්න ඕනේ. භාෂා පුහුණු කරන්න පුළුවන් ආයතන හැමතැනින්ම මේ භාෂා පුහුණු වීම් කරන්න ඕනේ. වෘත්තීය පුහුණුවීම්වලට දරුවන් යොමු කරවීම සහ ඒවා උනන්දුවක් මේ වෙලාවේ රටේ ඇති කළ යුතුමයි. ඒකට ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට වෙලාව ඇවිල්ලා තියෙන්නේ.

විදේශ ශ්‍රමිකයන්ගේ ඉපැයීම් ලංකාවට එවන්න එපා කියලා සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේදීම කිව්වා. දැන් ඔබට මොකක්ද ඒ ගැන හිතෙන්නේ?

සමහරු හිතන් හිටියා තමන් එපා කිව්වාම ඒ දේ වේවි කියලා. රටේ මිනිස්සුන්ට කන්න නැතුව බොන්න නැතුව මරන්න සමහරුන්ට ඕනේ වුණා. ඒ කියන්නේ බස් ගිනි තියලා, බස් ස්ටෑන්ඩ් ගිනි තියලා, ගොවිජන සේවා ආයතන ගිනි තියලා, කෝච්චි ගිනි තියලා පරණ ක්‍රමය අත්හදා බලන්න සමහරුන්ට ඕනේ වුණා. ඒ අය නැවත වතාවක් මේ පාරත් මේ වෙලාවේදී ඒකට උත්සාහ ගන්නවා.

දැන් රටට විදේශිකයෝ ටිකක් එන්න හදනකොට මොනවා හරි දෙයක් කරලා ප්‍රශ්න ඇති කරනවා. දැන් ඉතින් රටට ඩොලර් ටිකක් වැඩිපුර හම්බවුණු බව දැනගත් විටත් හෙට අනිද්දා තවත් මොනවා හරි උද්ඝෝෂණයක් කරනවා. අඩුම තරමින් දරුවෙක් හරි උස්සගෙන ගිහිල්ලා උද්ඝෝෂණය කරනවා. රටට සල්ලි එවන්න එපා කියලා එක එක ක්‍රම හදාගන්නවා. ඒ කියන්නේ මොන විදිහට හරි රටේ මිනිස්සුන්ව නොමරා මරන්න තමයි මේ අයට වුවමනාව තියෙන්නේ.

රටේ වර්තමාන කම්කරු පනත කම්කරුවට කෙසේ වෙතත් ආයතන හිමිකරුවන් ආරක්ෂා කරන පලිහක් වෙලා කියලා කම්කරුවෝ චෝදනා කරනවා. මේ ගැන ඔබ හොයලා බැලුවද?

මේක ඇතුළේ තියෙන්නේ විශාල ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේකේ කම්කරුවා හරියට රැකෙන්නෙත් නෑ. ආයතන කිසිවක් රැකෙන්නෙත් නෑ. පනතේ තියෙන දුර්වලතා හින්දා කම්කරුවත් අපහසුතාවට පත්වෙනවා. ආයතන හිමිකරුවන්ට තමන්ගේ ආයතනය ඉදිරියට සිදුකරගෙන යන්නත් බෑ. මේ රටේ තියෙන කම්කරු නීති යල්පැනගිය කම්කරු නීතියක්. මේක කම්කරුවන්ට වගේම ව්‍යාවසායකයටත් සුබදායක නෑ. ඒ කියන්නේ මේක හැදෙන්න ඕනේ සීග්‍රයෙන් දියුණු වෙච්ච රටවල නීතිත් එක්ක.

රටට ආයෝජකයෝ එන්න කලින් රටේ කම්කරු නීතිය කොයි වගේද කියලා බලනවා. ජාත්‍යන්තර ව්‍යවසායකයෝ බලාපොරොත්තු වෙන්නේ කම්කරුවා ආරක්ෂා වෙනවා වගේම කාර්යක්ෂමව තමන්ගේ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යෑමටයි. ඉතින් අන්න ඒකට ගැළපෙන කම්කරු නීති සංශෝධනයක් සිද්ධ වෙන්න ඕනේ. මේ වෙනකොට අපි තොරතුරු එකතු කරමින් ඉන්නවා මේ නව සංශෝධනය මොන ආකාරයෙන්ද සිදු විය යුත්තේ කියලා. මේක ඉතා සංකීර්ණ වැඩපිළිවෙළක්. අපි ක්‍රම ක්‍රමයෙන් මේ නව සංශෝධනය ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

වැඩබිමක අනතුරට පත්වුණු පුද්ගලයන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න කිසිදු වැඩපිළිවෙළක් කම්කරු දෙපාර්තමේන්තුව සතුව නොමැති බවට කම්කරුවන් චෝදනා කරනවා නේද?

දැනට වැඩබිම්වල කම්කරුවෙක් අනතුරකට පත්වුණාම නඩු කියන්න ඕනේ. වන්දි කොමසාරිස් කෙනෙක් ඉන්නවා. නඩු කියන්න විතරක් දීර්ඝ කාලයක් ගතවෙනවා. රස්සාවක් නැති වුණාමත් එහෙමයි. නඩු කියනවා. වන්දි කතා කරනවා. ඉතින් ලොකු කාලයක් ගිහිල්ලා තමයි වන්දියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අවුරුදු ගාණක් නඩු කියලා ඉවර වෙලා නඩු ගාස්තුවවත් අයකර ගන්න බෑ අවසානයේ නඩු කියලා. ඉතාමත් අසාර්ථක වන්දි ක්‍රමයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මම අලුතින් යෝජනා කරලා තියෙනවා. කොහොමද මේක වෙනස් කරන්නේ කියන එක අපි බැලුවා. වැඩබිමේ සිද්ධවෙන අනතුරුවලට දැන් අපි විවිධ අරමුදල් හරහාත් ගෙවනවා. මේ අතර අපි අපේ පැත්තේ තියෙන ආයතන හරහා ඊට අදාළ තොරතුරු එකතු කරනවා.

මේ අයට සහනයක් දෙන්න පටන් අරන් නැද්ද තවමත්?

කොහොමද අත පය නැති වුණොත්, අනතුරක් වුණොත්, පූර්ණ ආබාධයක් වුණොත්, ජීවිත හානියක් වුණොත්, කම්පැනිය වහලා මොකක් හරි වෙලා රස්සාව අහිමි වුණොත් සියලු දේවල්ම ආවරණය වන විදිහට මාස තුනක් පඩි දෙන්න දැන් අපි පටන් අරන් තියෙනවා. එතකොට කම්කරු උසාවි ගාණේ යන්නේ නැතිව ඒකට ඉක්මනින් තමන්ට ජීවත් වෙන්න සල්ලි ටික දෙන්න. ඒ ටිකට පොදු අරමුදලක් හරහා රක්ෂණ ක්‍රමවේදයක් අපි සූදානම් කරන්න යනවා. ඒ රක්ෂණ ක්‍රමවේදය හරහා අපි සූදානම් වෙන්නේ මේ සහනය කම්කරුවන්ට ලබාදීම ආරම්භ කරන්න.

22 වැනි සංශෝධනය තාම අතරමඟ. ඒකත් නොකෙරෙන වෙදකමක් කියලා කියන කතාව ඇත්තද?

අපි නම් කියන්නේ 22 සංශෝධනය ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඕනේ. රටම ඉල්ලපු දෙයක්. ජාත්‍යන්තරය ඉල්ලපු දෙයක්. අපි 22 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් විවිධ පාර්ශ්ව තමන්ට මේ වෙලාවේ කඩිනම් මැතිවරණ ලබා ගැනීමේ අවශ්‍යතාව නොයෙක් නොයෙක් දේවල් කියලා. වෙන දේවල් කතා කරනවා. දැනට අපි අයි. එම්. එෆ්. එකත් එක්ක කතා කරගෙන යනවා.

එමඟින් දෙසැම්බර් මාසේ ඉඳලා ණය දීමේ කටයුතු ආරම්භ කරනවා. ඒ සහන ලබා දෙනවා. ඒ සහතික කිරීම දුන්නාම ඒකත් එක්ක අනෙක් රටවල් එක්ක තියෙන සහයෝගය පටන් ගන්න පුළුවන්. එතකොට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කරලා තියෙනවා.

මේ නිසා මේ වෙලාවේ පටු අදහස් තියෙන බල ලෝභීන් රටත් ජනතාවත් අමාරුවේ දාන්න, ඡන්ද තියාගන්න උත්සාහ කරනවා ඇති. හැබැයි අපි බලාගෙන ඉන්නේ 22 වැනි සංශෝධනය සම්මත කරන්නයි. ඒක ඉදිරි සති දෙක තුන ඇතුළත යථාර්ථයක් වෙනවා.

මිතුන් ජයවර්ධන

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස