ගෝඨා – රනිල් ජිල්මාට් නොදා ගෙදර යනු..! අලුත් ආණ්ඩුවක් හදන්න සූදානම්..! – අනුර..

July 11, 2022 at 7:23 am | by emanisa.lk

කඩිනම් මැතිවරණයකට යන තුරු ස්ථාපිත කරන අන්තර්කාලීන ආණ්ඩුවේ අරමුණ හා සංයුතිය අනුව තම පක්ෂයට පැවැරෙන වගකීම ඉටුකිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

රටේ අරගලකරුවන් අපේක්ෂා කරන දේශපාලන හා ආර්ථික වෙනස සම්පූර්ණයෙන් ස්ථාපිත කිරීම ස්ථිර කළ හැක්කේ ලැඛෙන ජනතා වරම අනුව බැවින් එතෙක් ජනතාවගේ පොදු වූත් ප්‍රධාන වූත් ගැටලු කිහිපය කඩිනමින් විසඳිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම ජනතා අරගලයේ සැබෑ අරමුණ තුළ විශාල ගැඹුරක් තිබෙන බැව්න් එය ක්‍රමානුකූලව කළ යුතු බවත් ඒ අනුව ඉදිරි තීන්දු කඩිනමින් දැනුම් දෙන බවත් මන්ත්‍රීවරයා කීය.

මුලින්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවත් අලුත් අලුත් ජිල්මාට් නොදා වහාම ඉවත් විය යුතු බවත් ඒ සමඟම අගමැති රනිල් වික්‍රමසිංහ ද විවිධ තර්ක විතර්ක කරමින් බලයේ රැඳී සිටීමට ප්‍රයත්න නොදරා ඔහු ද ඉවත් විය යුතු බවත් පැවැසීය.

විශේෂයෙන්ම රටේ දේශපාලනයේත්, ආර්ථිකයේත්, සංස්කෘතිය තුළත් වෙනස් විය යුතු විශාල කරුණු රාශියක් අරගලය තුළ තිබෙන අතර ඒවා ඉටු කිරීම වෙනුවෙන් තම දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ඇපකැප වන බව ඔහු සහතික කළේය. එම නිසා ඉදිරි තීන්දු කඩිනමින් දැනුම් දෙන බවත් ඊට කලබල විය යුතු නැති බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මෙම ජයග්‍රහණය ස්ථිර ජයග්‍රහණයක් බවට පත්කිරීමට නම් ජනතාවගේ අරගලයේ සැබෑ හරය තේරුම් ගත යුතු බවත් ගෝඨාභය – රනිල් එළවීමෙන්ම පමණක් එය ඉටු නොවන බවත් ඔහු පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස