දැන් ජවිපෙ හිස් බෙලෙක්කයක්….! පක්ෂයේ අරටුව පෙරටුගාමී ලෙස වෙන්වුණා…! දේශප්‍රේමී මිනිස්සු විමල් එක්ක ගියා…! – ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර පුත් උවිඳු විජේවීර….

March 31, 2021 at 3:18 pm | by emanisa.lk

පළමු වරට පුවත්පත් සාකච්ඡාවකට ඔහු හා සම්මුඛ වන විට සිය පියා මෙන් තොප්පියක් හිස ලාගෙන ජැකෙට්ටුවක් පැළඳ සිටි ඔහු දැන් බාහිරින් පවා වෙනස්ව ඇත. යන්තම් කණින් කොනින් ඇසෙන්නේ ඒ වෙනස් වීමත් සමග රට පුරා ඇවිද යන ඔහු නව දේශපාලන ව්‍යාපාරයකට අඩිතාලම දමමින් සිටින බවය. ඔහු අන් කවරෙකු නොව මේ රටේ සැබෑ විප්ලවවාදියකු වූ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීරය. 71 අරගලයට 50 වසරක් සපිරෙන අභිමුව උවිඳු විජේවීර මේ කඳවුරු බඳින්නේ කුමකටද… අපි මේ ඇරඹුවේ එතැනිනි.

* උවිඳු , අඳින ඇඳුම පවා වෙනස් කරල මොකටද ඔබ මේ සැරසෙන්නෙ. 71 වගේ අරගලයකටද?
එක්තරා ආකාරයකට මේකත් අරගලයක් තමා. ශ‍්‍රී ලාංකිකයෝ හැටියට මේ රටට අවංක ජාතික දැක්මක් සහිත වැඩපිළිවෙළක ලොකු අවශ්‍යතාවක් මේ මොහොතේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ ‘‘දෙවැනි පරපුර’’ කියන ව්‍යාපාරය පටන් ගන්නෙ. මේ සමාජ ව්‍යාපාරය අපි බිංදුවේ ඉඳන් පටන්ගෙන මේ වෙනකොට සමාජගත කරමින් තිබෙන්නේ. රට ගැන හිතන අවංක මිනිස්සු එක්ක මේ ව්‍යාපාරය ගොඩනැගෙන්නෙ. එහෙම ගමනක තමයි දැන් අපි මේ දුවන්නෙ. දැනට අපි දිස්ත‍්‍රික්ක එකොළහක අපේ දෙවන පරපුර ව්‍යාපාරයේ සාමාජිකත්වය කි‍්‍රයාත්මක වෙමින් තියනවා.

* දෙවැනි පරපුර ගොඩනැගෙන්නේ 71 අරගලයේ සිටි සාමාජික සාමාජිකාවන්ගේ දුවා දරුවන්ගෙන්ද?
අපි මේ ව්‍යාපාරය පටන් ගන්නෙ 2015 වසරෙදි. ඒකෙ මුල් නම තමා 71 දෙවැනි පරපුර. එදා ජනතා විමුක්ති පෙරමුණේ 71 අරගලය කරපු, අවංකව රටේ වෙනසක් වෙන්න ඕන කියල තමන්ගෙ ශ‍්‍රමය ධනය කාලය සියල්ල වැයකරපු විරුවන් පිරිසකගෙ දරුවෝ තමයි 71 දෙවැනි පරපුර නිර්මාණය කරන්නෙ. එතකොට මම රුසියාවේ. මටත් ඒ සමග සම්බන්ධ වෙන්න කියල ලැබුණ ආරාධනාව අනුව ව්‍යාපාරය පටන්ගෙන මැද තැනකදි තමා මම එයට සම්බන්ධ වෙන්නෙ. නමුත් දැන් මගේ මූලිකත්වයෙන් මේ ව්‍යාපාරය 71 දෙවැනි පරපුරට විතරක් සීමා කරන්නෙ නැතිව සමස්ත ලංකාවේම ක‍්‍රියාත්මක කරමින් මේ තියෙන්නෙ.

* ඔබලා මේ ව්‍යාපාරය සඳහා ආභාෂය ගන්නෙ 71 අරගලයට සම්බන්ධ දේශපාලන ව්‍යාපාරයෙන්ද?
අපේ මුල්, අපේ සුවඳ තියෙන්නෙ වාමාංශික ව්‍යාපාරයත් එක්ක. අපි හැදුනේ ඒ සුවඳත් එක්ක. අපේ ගෙවල්වල තිබ්බෙ වාමාංශික රුසියානු පොත්. හැබැයි මම අද තනි වම කියන තැන නෑ. අපි අවබෝධ කරගෙන තියනවා මේ ලෝකෙ දැන් යන ගමනත් එක්ක, අලූත් තාක්ෂණයත් එක්ක, මේ විවෘතවෙලා තියන ගෝලීයකරණයත් එක්ක අලූත් විදියට හිතන්න ඕන. ඉතින් අර මම කිව්ව පරණ සුවඳත් එක්ක අලූත් විදියට හිතන පිරිසක් තමා දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නෙ.

* මේකත් 71 වගේ අරගලයක් වෙයිද?
එක්තරා ආකාරයට මේකත් අරගලයක් තමා. අරගලය කියන එක ඉවර වෙන්නෙ නෑ හොඳම තැනට යනකන්. නමුත් සන්නද්ධ අරගලය කියන එක කිසිම මොහොතක අපි විශ්වාස කරන්නෙත් නෑ එතෙන්ට වැටෙන්නෙත් නෑ. හැබැයි අපි වෙනසක් කියන එක විශ්වාස කරනවා. විප්ලවය කියන්නෙ වෙනස කියන එකනෙ. ඒ පෙරළිකාර වෙනස ආයුධ නැතිව අපේ මොළෙන් කරන්න පුළුවන් අපිට. විසි එක්වෙනි සියවස කියන්නෙ තොරතුරු තාක්ෂණ සියවසට. මේකෙ සියල්ල තීරණය කරන්නෙ තොරතුරු තාක්ෂණයත් එක්ක. ස්මාට් ෆෝන් එක කියන්නෙ අපේ අතේ තියන ලොකුම ආයුධය. අන්න ඒක පාවිච්චි කරල වෙනසක් කරන එක අපේ එක සැලසුමක්.

* වම කියන්නෙ දැන් කෑලි කෑලිවලට කැඩී බෙදී වෙන්ව සිටින දේශපාලන ව්‍යාපාරයක්. එවැනි දුර්වල වූ බලවේගයක් එක්ක ඉදිරියට යන්න පුළුවන්ද?
වම කියන්නෙ හොඳ මිනිස්සු ඉන්න තැනක්. අපි කියන්නෙ මේ මොහොතේ හොඳ මිනිස්සු මේ මොහොතේ එකතු වෙන්න ඕන. එක්ව ජයගන්නවා හැර වමට වෙන විකල්පයක් නෑ. ජනතා විමුක්ති පෙරමුණත් කොටස් තුනකට කැඩිල තියෙන්නෙ. පක්ෂයේ හිටපු අරටුව නැත්නම් පූර්ණකාලීනව වැඩ කරපු පිරිස පෙරටුගාමීන් ලෙස කැඩුණා. රටට ආදරය කරන විමල් වීරවංශ මහත්තයාත් එක්ක තවත් පිරිසක් ජාතික නිදහස් පෙරමුණ විදියට කැඩී වෙන්වුණා. රෝහණ විජේවීර 1989 මිය යනකොට මේ රටේ තිබ්බෙ ප‍්‍රධාන කඳවුරු දෙකයි. ඒ රටට ද්‍රෝහී කඳවුර සහ රටට ආදරය කරපු දේශප්‍රේමී කඳවුර. එතකොට 89 ජවිපෙ දියත් කරන්නෙ කොමියුනිස්ට් විප්ලවයක් නෙවෙයි. දේශපේ‍්‍රමී අරගලයක් කරන්නෙ. සටන් පාඨය වුණේ මව්බිම නැත්නම් මරණය. දේශපේ‍්‍රමී කොඩිය තිබුණේ විජේවීර ප‍්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ අතේ. ජාතික මතවාදයේ කොඩිය. 89 මර්දනයෙන් පස්සෙ එනකොට ඔය කොඩිය ජවිපෙ අතේ තිබ්බා. නමුත් දෙදහස් පහ හය වෙනකොට ජවිපෙ ඒ කොඩිය තමන්ගෙ අතින් නැති කරගත්තා. අද ඒ කොඩිය අරන් යන්නෙ වෙන පිරිසක්. මම කියන්නෙ අපි එකතුවෙලා ඒ කොඩිය දිනාගන්න ඕන. මතවාදී වශයෙන් ප‍්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් මේ ප‍්‍රධාන කොටස් තුන එකතු වෙන්න ඕන.

* නමුත් පසුගිය දවස් සමාජජාලවල අපි දැක්කා ජවිපෙ ඔබව විවේචනය කරනවා?
ඒක ජවිපයේ පහළ ස්ථරයේ සාමාජිකයා කරන දෙයක් නෙවෙයි. මම දන්නෙ නෑ ඒක පිටිපස්සෙ ජවිපෙ නායකයින් ඉන්නවද කියන එක. ඒ කොහොම වුණත් මේ මඩ ප‍්‍රචාර කරන්නෙ යම් යම් සුළු පිරිසක්. ඔවුන් කියන්නෙ අපේ දෙවන පරපුර ව්‍යාපාරය පිටිපස්සෙ ඉන්නෙ යම් යම් දේශපාලන පක්ෂ වල නායකයින්. නැත්නම් කෝටිපති ව්‍යාපාරිකයින් කියල. එහෙම කියල අපහාසාත්මකව පෝස්ට් පළවෙනවා. නමුත් අපේ සංවිධානයේ පිටිපස්සෙ ඉන්නෙ අපිමයි. ඔය කියන චෝදනා එන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයා අපිට කරපු උදව්වලට ස්තූති කරපු නිසා. හැබැයි ජවිපෙ, ජාතික නිදහස් පෙරමුණ, පෙරටුගාමී යන පක්ෂවල නායකයින් සමග මම සාකච්ඡා කරල තියනවා. ඒවා හංගන්න දෙයක් නෑ. නමුත් අපි නිර්මාණය කරපු දෙවන පරපුර ව්‍යාපාරය ස්වාධීනව පටන්ගත්ත දෙයක්. දෙවන පරපුර කාටවත් විකිණිලත් නෑ. විකිණෙන්නෙත් නෑ.

* දෙවැනි පරපුර ව්‍යාපාරය ඉදිරියේදී දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කරනවාද?
මේ ගමන අපි යන්නෙ දේශපාලන ගමනක් එක්ක. අනිවාර්යෙන්ම අපි නීත්‍යානුකූලව දේශපාලන පක්ෂයක් විදියට ඒ ලියාපදිංචි කටයුතු කරනවා.

* දෙවැනි පරපුර ව්‍යාපාරයට වැඩියෙන් ඉලක්ක වී තිබෙන්නෙ මේ රටේ තරුණ ප‍්‍රජාව. ඔවුන්ව ආකර්ෂණය කරගන්න අලූත් දැක්මක් සංකල්පයක් තියනවද?
ලංකාවට තවත් දේශපාලන පක්ෂයක් හෝ ඡන්දය ඉල්ලන කණ්ඩායමක් නෙවෙයි ඕන වෙන්නෙ. එතැනින් අපි පොඞ්ඩක් එළියට එනවා. නමුත් මේක වෙනස් කරන්න දේශපාලන බලය අවශ්‍ය වෙනවා කියන එක අපි දන්නවා. මේ රටේ ඉතිහාසය පුරා චෝල, මාඝ වැනි විවිධ ආක‍්‍රමණ පැමිණ තිබෙනවා. ඒ ආක‍්‍රමණවලදි රජතුමා බලය අත්හැර පලාගොස් තිබෙනවා. හැබැයි ඒ ආක‍්‍රමණවලින් පසුව නැවත රට මුදා ගත්තම නියම උරුමක්කාරයා තමයි නැවත බලයට ඇවිත් අපේ කුඹුරු ටික හදල, පන්සල් ටික හදල අපේ පැවති ක‍්‍රමවේදය නැවත ස්ථාපිත කරන්නෙ. නමුත් බි‍්‍රතාන්‍ය යුරෝපීය ආක‍්‍රමණවලින් පසු එහෙම වෙන්නෙ නෑ. 48 පස්සෙ සුද්දා යනකොට මේ රටේ සැබෑ උරුමක්කාරයින්ට නැවත අයිතිය හම්බවුණේ නෑ. කළු සුද්දො ටිකකට තමා සුද්දගෙන් පස්සෙ අයිතිය ලැබෙන්නෙ. අවුරුදු 73 තිස්සේ පවතින මේ ප‍්‍රශ්නය පටන් ගන්නෙ එතැනින්. මේ දේ වෙනස් වෙන්න ඕන. ඒක පක්ෂයක් හදල පිරිසක් පාර්ලිමේන්තු යවල කරන්න බෑ. අපිට අවශ්‍ය වෙනවා ජාතික දැක්මක්, ජාතික චින්තනයක් සහ ජාතික වැඩපිළිවෙළක්. දෙවන පරපුර අපි වැඩ කරන්නෙ අන්න ඒ ජාතික චින්තනය හදන්න. ජාතික චින්තනය හදන්න හොඳම පිරිස තමා තරුණ ප‍්‍රජාව. එතනදි අපි සිංහල බෞද්ධ කියන අත්තිවාරමේ ඉඳල කටයුතු කරන්නේ. මේ රටේ තරුණ, වැඩිහිටි සෑම ස්ථරයකටම එම ස්ථාවරයේ සිට අමතනවා.

* මේ ව්‍යාපාරය කරගෙන යන්න කොහෙන්ද ඔබට මුදල් ලැබෙන්නෙ?
මහ පරිමාණයෙන් මුදල් වියදම් වෙන ලොකු කටවුට්, බැනර්, ස්ටේජ් වැඩසටහන් අපි කරන්නෙ නෑ. මම රැකියාවක් කරන්නෙත් නෑ. පරම්පරාවෙන් ලැබුණ ධනයකුත් නෑ. නමුත් අපි වටා එකතු වෙච්ච මිතුරන් පිරිසක් ඉන්නවා. ඒ අය තමා මේකට වියදම් කරන්නෙ. විශේෂයෙන් මගේ පාසල් මිතුරන් වගේම තාත්තට ආදරය කරපු අපේ මතවාදයත් එක්ක ඉන්න විදේශගත ශී‍්‍ර ලාංකික සහෝදරයින්. හැබැයි අපිට සැලසුම් තියනවා අරමුදල් රැස් කරන. එක උදාහරණයක් කියනව නම් අපි හම්බන්තොට කාබනික වගාවක් කරනවා. කිරින්දෙ ගොවිපලක් කරනවා. ඒ වගේ වැඩකටයුතු ටිකකින් අපේ ආර්ථිකය ශක්තිමත් වෙනවා.

* ඉතිහාසය පුරා වැඩිපුරම අපි වාමාංශික ව්‍යාපාරවලින් දැක්කෙ ජනහමු පැවැත්වීම, විවේචනය කිරීම, උද්ඝෝෂණ වැනි ක‍්‍රියාකාරකම්. මේකත් ඒ සාම්ප‍්‍රදායික පීල්ලෙද ගමන් කරන්නෙ?
නෑ කිසිසේත් අපි එතන නෑ. අපි විශ්වාස කරන්නෙ විවේචනය කර කර කෑ ගගහා ඉන්නෙ නැතිව මොනවා හරි දෙයක් සමාජයට කරල පෙන්නන්න ඕන කියන තැන. කලින් කිව්වා වගේ අපි හඳුනගෙන තියනවා කෘෂිකර්මාන්තය කියන්නෙ මේ රටට අවශ්‍යම දෙයක් කියල. හැබැයි රටම කුඹුරු කරන තැනට නෙමෙයි අපි ගෙනියන්න ඕන. තාක්ෂණය භාවිතා කරල අඩු ඉඩකින් වැඩි අස්වැන්නක් ගන්න. ඒ නියමු ව්‍යාපෘතියක් විදියට තමා තලාව ප‍්‍රදේශයේ අපි කාබනික වගා බිමක් පටන් ගත්තෙ. මාලබේ ප‍්‍රදේශයේ නාගරික පලතුරු වගාව ආරම්භ කරේ. අපේ ක‍්‍රමය තමා හිඟන්නො වගේ මොකුත් නැතිව, සාක්කු හිස් කරන් සමාජ ව්‍යාපාර නිර්මාණය කරන තැනට නොයා මිනිස්සුන්ගේ ආර්ථිකයත් ශක්තිමත් වෙන විදියෙ වැඩපිළිවෙළක් ඇති කිරීම. තරුණ ප‍්‍රජාව දේශපාලකයන් පස්සෙ යන පුරුද්ද නවත්තලා ඔවුන්ගෙ ආර්ථිකයත් ස්වාධීනව ශක්තිමත් කරන වැඩපිළිවෙළක් අපි ගෙනියන්නෙ. දැනට අපි තරුණයා ඉලක්ක කරගෙන පන්ති පහක් කරනවා. ඒක අසූ අට අසූ නවය කාලෙ කරපු පන්ති පහ නෙවෙයි. සංචාරක ක්‍ෂේත‍්‍රය ඉලක්ක කරගෙන ජර්මන්, ප‍්‍රංශ, චීන වැනි විදේශීය භාෂා නොමිලයේ ඉගැන්වීමේ පන්ති පහක් අපි කරන්නෙ. දෙවන පරපුරෙන් අපි මිනිස්සුන්ට දෙන්නෙ ටකරන් හෝ බත් පැකට් නෙවෙයි. අපි දෙන්නෙ මිනිස්සුන්ට දැනුම සහ හැකියාව. එතකොට ඒ ගොල්ලන්ට පුළුවන් කොන්ද කෙළින් තියාගෙන ශක්තිමත්ව ගොඩනැගෙන්න. මේ රටට ඉදිරි පරම්පරාවට ඕන එහෙම දැක්මක්.

* තෙවැනි වතාවටත් ඔබ රුසියාවේ විදේශීය ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස පත්වෙනවා. නමුත් මේ රටේ ශිෂ්‍ය ප‍්‍රජාව දිනා ගැනීමට ඔබට අදහසක් නැතිද?
අනිවාර්යයෙන්ම. නමුත් හැම සැලසුමක්ම මේ වෙලාවේ එළියට දාන්න බෑ. ජාත්‍යන්තර මට්ටමේ ශිෂ්‍ය ප‍්‍රජාව අතර මට ලොකු වපසරියක් තියනවා. මගේ අරමුණ දෙවැනි පරපුර ඒ අයත් එක්ක ගැටගහල ව්‍යාප්ත කරන්න. ලංකාවේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යා පාරෙ නෙවි ඉන්න ඕන කියන තැන මම ඉන්නෙ. ඔහු ඉන්න තමන්ගෙ දැනුමෙන් බුද්ධියෙන් වැඩ කරන්න පුළුවන් තැනක. 78 දී 89 දී ඔවුන් අවංකව වැඩ කරා. ඇත්ත. නමුත් ලෝකය වෙනස් වෙනකොට අපිත් සමහර දේවල් වෙනස් කරන්න ඕන. උපක‍්‍රමශීලිව ශිෂ්‍යයින් අපිට දිනාගන්න පුළුවන් දේවල් තියනවා.

* 71 අරගලයට පනස් වසරක් සපිරෙන මොහොතක් එළැඹි තිබෙන්නෙ. 71 දෙවැනි පරපුර නිර්මාණය කරල පසුව දෙවැනි පරපුර විදියට මේ ව්‍යාපාරය සමාජ ගත කරන ඔබලා 71 අරගලයට පනස් වසරක් සපිරීම සමරන්නෙ කොහොමද?
71 අරගලය සමාජගත වෙලා තියෙන්නෙ දේශපාලන කාරණාත් එක්කනෙ. ඊට වඩා මේකට ඓතිහාසික භූමිකාවක් තියනවා. අන්න ඒ භූමිකාව සමාජෙට පෙන්වා දෙන්න ඕන. අපිට අවශ්‍යයි 71 දී මොකද වුණේ කියන කාරණය දේශපාලනීකරණය කරන්නෙ නැතිව ඒ ෙඓතිහාසික වටිනාකම සමාජයට පෙන්වන්න. ඒ වෙනුවෙන් අපි වෙබ් සයිට් එකක් නිර්මාණය කරා. මොකද 71 දී අවංකව දිවි පිදූ අය වෙනුවෙන් ස්මාරකයක් කොහේවත් නෑ. ඉතින් ඒ අය අනුස්මරණය කරන්න පුළුවන් විදියට මේ වෙබ් සයිට් එකේ ඔවුන් 71 අරගලයේදි කරපු කාර්ය භාරයත් එක්ක ඡායාරූපයක් සමග විස්තර පළ කරනවා. ඒත් එක්කම 71 දී ආරක්ෂක අංශවල සේවය කරද්දි මිය ගියේ මේ රටේ සාමාන්‍ය පාන්තික මිනිස්සු. අපි ඒ අය අනුස්මරණය සඳහාත් මේ වෙබ් සයිට් එකේ තැනක් වෙන් කරල තියනවා. මේ මොහොතේ මම ආරාධනා කරනවා දැනට තොරතුරු ලබා නොදුන් අය ඉන්නව නම් මගේ ෆේස්බුක් පිටුවට හෝ ඒ තොරතුරු ලබාදෙන්න කියල. ඒකත් එක්ක 71 මහ නඩුවෙදි තාත්තත් එක්ක ඉඳල බෙදී වෙන්වූ පිරිසක් තවමත් ජීවත් වෙනවා. මේ හැමෝම ඉතිහාසයේ එක තැනකදි අවංක අරමුණක් වෙනුවෙන් එකතුවුණ මිනිස්සු. ඒ නිසා මෙතෙක් පැවති විරසකය නිමා කරල ඒ හැමෝටම ඒ අවංක කැප කිරීම වෙනුවෙන් නිසි ගෞරවය දෙන්න ඕන. ඉතින් 71 අරගලයේ පනස්වෙනි සැමරුමේදි ඒ අයට නිසි ගෞරවයක් දෙන්නයි අපේ දෙවැනි පරපුරේ අරමුණ.

සාකච්ඡා කළේ – තිස්ස ගුණතිලක
දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස