වසා දැමූ පෞද්ගලික බලාගාරයක් වෙනුවෙන් ආණ්ඩුව ඇමති මලික්ගේ යාළුවා ජෙහාන්ට රු. කෝටි 117ක් ගෙවලා! 2018 ලංවිම පාඩුව කෝටි 5000යි!

March 29, 2019 at 11:34 am | by admin

උතුරට විදුලි බලය සැපයීම සඳහා ආරම්භ කළ චුන්නාකම් පෞද්ගලික විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් එකක්වත් ලබා නොගන්නා පසුබිමක ලංකා විදුලි බල මණ්ඩලය එම බලාගාරයට අයත් MTD Walkers PLC නම් සමාගමට රු. බිලියන 1.01ක් ලබා දී ඇතැයි විදුලිබල මණ්ඩල අභ්‍යන්තර මූල්‍ය ලේඛනයක් මගින් අනාවරණය වී තිබේ.

වසර කිහිපයකට පෙර ආරම්භ කළ මෙම විදුලි බලාගාරය පරිසර ප්‍රශ්නයක් නිසා අධිකරණ නියෝග මත 2015 ජනවාරි මස සිට පවතින්නේ අක්‍රීය තත්ත්වයේය. ඒ අනුව එතැන් සිට මෙම විදුලි බලාගාරය එකදු විදුලි ඒකකයක් හෝ නිෂ්පාදනය කර නැත.

එහෙත් 2017-2018 වසරවල දී ලංකා විදුලිබල මණ්ඩලය රු. කෝටි 68 සහ රු. කෝටි 49ක් වශයෙන් රු. කෝටි 117ක් MTD Walkers PLC සමාගමට ගෙවා තිබේ. මෙම සමාගමේ උපසභාපතිවරයකු ලෙස කටයුතු කළ ජෙහාන් අමරතුංග එකල මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද කටයුතු කළ අතර මෙම සමාගම පාඩු ලබන පසුබිමක මහජන බැංකුව රු. බිලියන 10කට අධික ණයක් ලබා දුන් බවට ද චෝදනා එල්ල වෙයි.

එම මුදල නැවත අයකරගත්තේ ද නැද්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. ජෙහාන් අමරතුංග යනු අමාත්‍ය මලික් සමරවික්‍රමගේ සමීපතම ව්‍යාපාරික සගයාය.

මේ අතර 2018 වසරේ විදුලිබල මණ්ඩල පාඩුව කෝටි 5000ක් බව ඇමති මනෝ ගනේෂන් හෙළිකර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස