වරාය නගර කොමිසමට ශ්‍රී ලාංකිකයින් පමණක් පත්කළ යුතුයි….! අනාගතයේ අර්ජුන් මහේන්ද්‍රන් වැන්නන් පත්වීමේ ඉඩ අසුරා දැමිය යුතුයි….! – ගෙවිඳු…

April 25, 2021 at 7:08 am | by emanisa.lk

වරාය නගර කොමිෂන් සභාව සඳහා පත් කරන සාමාජිකයින් නිශ්චිත විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

එම සාමාජිකයින් කිසිදු නිර්ණායකයක් නොමැතිව ජනාධිපතිවරයාට පත්කළ හැකි ආකාරයට තැබීම මූලික අඩුපාඩුවක් බව ද ඔහු පෙන්වා දෙයි.

වරාය ගිවිසුම අවුරුදු 99ක් වලංගු වන අතර ඒ කාලය තුළ ජනාධිපතිවරණ 20ක් පැවැත්වෙන බවත් අතීතයේ මෙන් රටට විදෙස් අතපෙවීම් අනාගතයේ දී ද සිදුවීමේ අවදානමක් ඇති බවත් සඳහන් කළ ගෙවිඳු කුමාරතුංග ඉදිරියේ දී අර්ජුන් මහේන්ද්‍රන් වැනි අය මෙම කොමිසම සඳහා පත්වීමේ ඉඩ අසුරා දැමිය යුතු බවත් අවධාරණය කරයි.

එහෙයින් වරාය නගර කොමිසම සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්, පරිසර අමාත්‍යංශ ලේකම් වැනි නිශ්චිත රජයේ නිලධාරීන් සිව් දෙනෙකු සහ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සාමාජිකයින් තිදෙනෙකු පත්කිරීම සුදුසු බවත් ඒ සියලු දෙනා ශ්‍රීලාංකිකයින් විය යුතු බවත් සිය සංවිධානයේ මතය බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය. ඒ සඳහා විදෙස් විශේෂඥ උපදෙස් අවැසි නම් උපදේශකයින් හෝ නිලධාරීන් ලෙස ලබාගත හැකි බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

එසේ ම මෙම පනත් කෙටුම්පත සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ අදහස් හෝ ලබා නොගැනීම සහ අධිකරණයට පවා රජයේ නිලධාරීන්ගේ සංශෝධනය පමණක් ඉදිරිපත් කිරීම පිළිබඳ කනගාටුව පළකළ මන්ත්‍රීවරයා ඉදිරියේ දී හෝ ඒ සඳහා අවස්ථාවක් ලබා දීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේ ය.

 

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස