වතුකරයේ ජනතාව කොටි සංවිධානයට බිලි නොදී රැකගත්තේ තොණ්ඩමන්! කොරෝනා අවධානම මැද බැනුම් අසමින් ඔහුගේ අවමඟුලට ඉඩදුන්නේ කෘතගුණ සලකන්නයි! – මහින්ද

July 27, 2020 at 9:31 am | by emanisa.lk

වතුකම්කරු වැටුප් වැඩිකිරීම, නිවාස ප්‍රශ්නයට විසඳුම් ඇතුළුව වතුකරයේ ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් සුවිශේෂී අවධානයක් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ හැටන් නගරයේ පැවැති හමුව අමතමිනි.

“මම අන්තිම වතාවට තොණ්ඩමන් ඇමතිතුමා හම්බවුණේ 2020.05.26 වැනි දා. එදා එතුමා මාත් එක්ක ගොඩක් දේවල් කතා කරා. මම මේ මොහොතේ මතක් කරන්න ඕනේ තොණ්ඩමන් ඇමතිතුමා මාත් එක්ක අවසාන දවසේ කතා කරපු දේවල්. එතුමා අන්තිම මොහොතෙත් මාත් එක්ක ඒ මිනිත්තු කිහිපය ගතකළේ තමන්ගේ පවුලේ අය ගැන කතා කරන්න නෙමෙයි, ආදායම ගැන කතා කරන්න නෙමෙයි, තමන්ගේ ලෙඩදුක් ගැන කතා කරන්නත් නෙමෙයි. මේ වතුකරයේ ඉන්න තමුන්නාන්සේලාගේ ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියන එක ගැන තමයි එතුමා කතා කළේ. මම තොණ්ඩමන් පරම්පරා තුනක් එක්ක වැඩ කළා. ඒ එකිනෙකා අයිතිවාසිකම් දිනා ගත්ත ක්‍රමවේද එකිනෙකට වෙනස්. සියාගේ හා පියාගේ ක්‍රමවේදයන්ට වඩා වෙනස් ක්‍රමවේදයක් තමයි ජීවන්ට තියෙන්නේ.

එතුමා දැඩිසේ ඉල්ලුවා වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කරන්න කියලා. අපි වතු හිමියන් සමඟ අවස්ථා තුනක දී වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම ගැන දීර්ඝව සාකච්ඡා කළා. ඒ සාකච්ඡා වලට ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් ඇතුළු සාමාජිකයොත් සහභාගී වුණා. වතු අයිතිකරුවන් සමඟ පැවැති සාකච්ඡාවේදී ජීවන් කතාකලේ වතු අයිතිකරුවන්ට වැටුප් වැඩි නොකර ඉන්න බැරි විදියටයි. මැතිවරණ කාලසීමාවේ දී වැටුප් වැඩිකිරීම සම්බන්ධව කටයුතු කිරීමට මැතිවරණ නීති බලපෑ නිසා අපි මැතිවරණයෙන් පස්සේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා වතු කම්කරුවන්ට සාධාරණය ඉටු කරනවා.

වතුකරයේ ජනතාවට මුලින්ම කොන්ක්‍රීට් කරපු පහසුකම් සහිත පාර ලබා දුන්නේ 2005-2015 අතර තිබුණ අපේ ආණ්ඩුව කාලේ. වතුකරයේ ප්‍රදේශ රාශියක පාරවල් සංඛ්‍යාවක් කොන්ක්‍රීට් කරගන්න තොණ්ඩමන් ඇමතිතුමා එදා සමත් වුණා. ඒ වගේම ලැයිම් කාමර නිවාස ලබා දීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා ඒ නිවාස යෝජනා ක්‍රම සදහා මුදල් වෙන් කර ගත්තා. පළමුවැනි වතාවට වතුකරයේ ජනතාවගේ ලැයිම් කාමර විදුලි එළියෙන් බැබලෙව්වේ අපේ කාලයේ තොණ්ඩමන් ඇමතිතුමා මැදිහත්වෙලා.

යහපාලන ආණ්ඩුව ආවම තොණ්ඩමන් ඇමතිතුමා දැනගෙන හිටියා ඒ ආණ්ඩුවෙන් කිසිම දෙයක් මේ වතුකරයේ ජනතාවට කෙරෙන්නේ නැති බව. ඒ නිසා හැමදාමත් වතුකරයේ ජනතාව වෙනුවෙන් නොයෙක් දේශපාලන පක්ෂ පිහිටුවන ආණ්ඩුවලට උදව් කරපු තොණ්ඩමන් ඇමතිතුමා පළමුවෙනි වතාවට යහපාලන ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැතිව අපිත් එක්ක ආණ්ඩුවක් පිහිටුවනකල් වතුකරයේ ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. යහපාලන ආණ්ඩුවෙන් වතුකරයේ ජනතාවට සේවයක් නොවන බව තොණ්ඩමන් ඇමතිතුමා දැනගෙන හිටපු නිසයි යහපාලන ආණ්ඩුව එක්ක එකතු වුණේ නැත්තේ.

එදා අපි ඇති කරපු වෙනස්කම්, වතුකරයේ ඇති කරපු පාරවල්, පාසැල් නිසා අද වතුකරයෙන් එලියට තරුණයන් දහස් ගණක් ගිහිල්ලා. ඒ අය කොළඹ නොයෙක් රජයේ ආයතනවල රැකියාව කරනවා. ගුරු පත්වීම් 6000ක් ලබා දුන්නා. විද්‍යා අංශයෙන් සහ අනෙකුත් අංශවලින් ඉදිරියට එන දරුවෝ අද වතුකරයේ ඉන්නවා.

අපිට වැදගත් වෙන්නේ මේ වතුකරයේ ජනතාව වත්ත ඇතුළේම තියන්න නෙමෙයි. එතනින් එළියේ ලෝකෙට ගෙනියන්න. අපි ඒ ජයග්‍රහණය වතුකරයේ ජනතාවට ලබාදීලා තියෙනවා. හැබැයි වත්තෙන් යන්නේ නැති අයට එළියට යන ජනතාවට ලැබෙන පහසුකම්, ලැබෙන ආදායම් සමාන දෙන රටක් හැදීමේ වගකීම දැන් අපිට ඉතිරිවෙලා තියෙනවා.

ඊළඟට අපි කරන්න සූදානම්වෙලා ඉන්නේ ඒ භාරධුර වගකීම ඉටුකරන එක. මෙතෙක් කාලයක් වතුකරයේ ජනතාව නිරන්තරයෙන් විවිධ දේශපාලන ඉල්ලීම්වලට නතු කරගන්න උත්සාහ කළා. හැබැයි තොණ්ඩමන් ඇමතිතුමා කවදාවත් රට බෙදීම වැනි දේශපාලන අරමුණුවලට වතුකරයේ ජනතාව යොමු වෙන්න ඉඩ දුන්නේ නෑ. ඇතැම් අය අහනවා කොවිඩ් වසංගතය තියෙද්දි තොණ්ඩමන් ඇමතිතුමාට විතරක් විශේෂයක් කළේ ඇයි කියලා. අපි ඒ විශේෂයක් කළා නෙමෙයි, ත්‍රස්තවාදයට යටවෙලා දහස් ගණනින් මියයන්න හිටපු වතුකරයේ ජනතාව ආරක්ෂා කරගත්තේ, ඒ ත්‍රස්තවාදී මාර්ගයට යොමු වෙන්න නොදී බලාගත්තේ තොණ්ඩමන් ඇමතිතුමා.

ඉතාම දුෂ්කර අවස්ථාවෙත් මුළු රටෙන්ම චෝදනා ආවත් වතුකරයේ ජනතාවට කරන ගෞරවයක් වශයෙන් එතුමාගේ දේහය අපි ගෞරවය දක්වන්න අවස්ථාව දුන්නා. සුළු ජාතින්ගේ අයිතිවාසිකම් පිළිබඳව හැමතිස්සෙම කතා කරන අයත් මේ කාරණය උළුප්පලා දක්වලා අපිට විරුද්ධව කතා කරන එක ගැන මට හරි කණගාටුයි. ඒ වගේම ව්‍යාජ දේශපාලන යෝජනාවලට වතුකරයේ ජනතාව මෙදා වතාවේ රැවටෙන්නේ නැහැයි කියන විශ්වාසය අපිට තියෙනවා.

ඒ වගේම වතු නිවාස මෙච්චර කාලයක් දුන්නේ වත්තේ වැඩ කරපු අයට විතරයි. වත්තේ පදිංචි සහ ඡන්ද නාමලේඛනයේ නම් තියෙන අයටත් නිවාස දෙන ලෙස තොණ්ඩමන්ලා අපෙන් ඉල්ලුවා. අපි ඒක කරගෙන යනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් වතු ආශ්‍රිත ජනතාවගේ ජන ජීවිතය සමෘද්ධිමත් කිරීම සඳහා සුවිශේෂී අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා වතු ජනතාව වෙනුවෙන් කරපු සේවයේ දී එතුමාගේ පුතා ජීවන් තොණ්ඩමන් අපි එක්ක එකතු වෙලා ඉන්නවා. ආරුමුගම් තොණ්ඩමන් මහතා නායතක්වය දුන්නු නුවරඑළියේ වතු ජනතාවට නායකත්වය දීමේ වගකීම දැන් ජීවන් තොණ්ඩමන් වෙත පැවරිලා තියෙනවා. ජිවන් වගේ තරුණයෙක් අපි එක්ක එකතු වීම ගැනත් සතුටු වෙනවා. වතු ජනතාවගේ ප්‍රශ්න ගැන ඉදිරියේදී ජිවන් තොණ්ඩමන් කතා කරයි. මම විශ්වාස කරනවා වතු ජනතාව වෙනුවෙන් ඔහු හොඳ නායකත්වයක් දෙයි කියලා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල් පීරිස් මහතා, ජිවන් තොණ්ඩමන් සහ මෙවර මහ මැතිරවණය සඳහා තරඟ කරන අපේක්ෂකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ’

– සිසිර මුණසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස