රුසියාවෙන් තෙල් ගන්න බැරි වුණේ මා ඇමැතිකමින් ඉවත් කළ නිසයි…! – ගම්මන්පිල..

June 24, 2022 at 2:46 pm | by emanisa.lk

හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් පහත දැක්වෙයි.

ගම්මන්පිල රුසියාවෙන් ඛනිජතෙල් මිල දී නොගත්තේ ඇයි?

ආණ්ඩුව විසින් රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳ විමල් වීරවංශ මන්ත්‍රිතුමා විසින් 2022 ජුනි 22 දින පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරන ලදී. ඊට ප්‍රතිචාර දක්වමින් බලශක්ති ඇමති කංචන විජේසේකර මැතිතුමා ප්‍රශ්න කළේ “ඔබතුමාගේ සංධානයේ සිටින හිටපු බලශක්ති ඇමතිවරයා තමයි පසුගිය වසර එකහමාරක් කටයුතු කළේ. එතුමා රුසියාවෙන් තෙල් නොගත්තේ ඇයි?” යනුවෙනි.

ස්වාධීන පක්ෂ එකමුතුවේ සිටින එක ම හිටපු බලශක්ති ඇමතිවරයා මා බැවින් මාගේ නම සඳහන් නොකළ ද එය මට එරෙහිව නැගූ චෝදනාවක් ලෙස ජනතාව තේරුම් ගෙන ඇත. එබැවින් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීම මගේ යුතුකමකි.

රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය අරඹන්නේ 2022 පෙබරවාරි 24 දිනය. යුරෝපී​ය රටවල් විසින් රුසියාවට සීමිත වෙළඳ සම්බාධක පනවන්නේ පෙබරවාරි 26 දිනය. රුසියාව​ විසින් ඈත පෙරදිග රටවලට තම ඉන්ධන සැපයීම ඇරඹු​වේ සමීපයේ තිබෙන යුරෝපියානු වෙළඳපොළ අහිමි වීමෙන් පසුවය. ජනාධිපතිතුමා විසින් මා බලශක්ති ඇමති ධූරයෙන් ඉවත් කරන්නේ මාර්තු 3 දිනය. එනම් රුසියාවට සම්බාධක පනවා දින පහකට පසුවය. එබැවින් අඩු මිලට රුසියානු ඛනිජතෙල් මිල දී ගැනීමේ ස්වර්ණමය අවස්ථාව මා ඇමති ධූරය දරන සමයේ නොතිබුණු බව දිනපතා ප්‍රවෘත්ති නරඹන පාසල් දරුවන් පවා දන්නා කරුණකි.

මෙරට ඛනිජතෙල් හිඟයක් 2021 ජූලි මාසයේ දී ඇති වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු විපක්ෂය විසින් අනතුරු අඟවන ලදී. නමුත් ඉන්දියාවෙන් සහ චීනයෙන් ණය පහසුකම් ලබා ගනිමින් ද සැපයුම්කරුවන්ගෙන් දිගුකාලින ණය පහසුකම් ලබා ගනිමින් ද එකී ඛනිජතෙල් හිඟය මාස අටකින් කල් දමා ගැනීමට අපට හැකි විය.

මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ඉන්ධන මිල දී ගැනීම සඳහා ණය පහසුකම් ලබා ගැනීමට හොඳම රට රුසියාවයි. එක් පැත්තකින් රුසියාවට ඉන්ධන අතිරික්තයක් ඇත. අනිත් පැත්තෙන් විදේශීය ජංගම ගිණුමේ පළමු මාස පහ තුල දී පමණක් ඩොලර් බිලියන 120ක් ඉක්ම වූ අතිරික්තයක් ඇති බැවින් ණය පහසුකමක් ලබා දීමේ ශක්තිය ද ඇත. නමුත් ශ්‍රී ලංකාව මෙතෙක් රුසියාවෙන් එවැනි පහසුකමක් ඉල්ලා නොමැති බව 2022 ජූනි 21 දින අප සමග රුසියානු තානාපතිතුමා විසින් පවසන ලදී. ජනතාව තෙල් සහ ගෑස් පෝලීම් වල මිය යන පසුබිමක එවැනි ඉල්ලීමක් නොකිරීම ඇත්තෙන්ම අපරාධයකි.

උදය ගම්මන්පිල
පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු බලශක්ති අමාත්‍ය
2022 ජූනි 24 දින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *