රටේ පිහිටීමයි රට වටේ වරාය සමූහයයි යොදාගෙන ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් කරන්න පුළුවන්! – ජනපති

September 16, 2020 at 3:55 pm | by emanisa.lk

මෙරට ස්වාභාවික පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (15) සඳහන් කළේය.

ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ළඟා කරගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බහලුම් 24,000ක් ප්‍රවාහනය කළ හැකි ලොව විශාලතම නෞකා ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රාජපක්ෂ අවධාරණය කළේය.

ගුදම් පහසුකම්, බහලුම් අංගණ, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.

රට ආසන්නයෙන් යාත්‍රා කරන අන්තර් ජාතික නෞකාවලට සේවා සැපයීමට හැකි පරිදි වරාය පද්ධතිය දියුණු කරමින් කොළඹ, ගාල්ල, තිරිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලුවිල් වරාය සංවර්ධනය කළ යුතු බව ජනාධිපතිවරයා කීවේය.

රජය මැදිහත් වී ඉන්ධන ගබඩා ටැංකි ඉදි කර නැව්වලට ඉන්ධන සැපයීම කළ යුතු බවත් විශාල ප්‍රමාණයේ බෝට්ටු ඉදිකිරීමෙන් පසු ඒවා දියඹට ගෙන යෑමට බේරුවල ප්‍රදේශය ආශ්‍රිතව දියත් කිරීමේ යාත්‍රාංගණයක් ඉදිකිරීමටත් ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි විය.

විදේශ වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයනය සඳහා නැව් සහ බෝට්ටු නඩත්තුව, අලුත්වැඩියාව හා නිෂ්පාදනය පුළුල් කිරීම, ප්‍රධාන වරාය කේන්ද්‍ර කර ගනිමින් නාවික කාර්ය මණ්ඩල හුවමාරුවට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපති රාජපක්ෂ විසින් පෙන්වා දුන්නේය.

කොළඹ වරායේ නැඟෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය වේගවත් කිරීමට ද ප්‍රතිනැව්ගත කිරීම හැසිරවීමේ ධාරිතාව, ගුදම් පහසුකම් හා භාණ්ඩ අංගණ, සැපයුම් පහසුකම් අන්තර්ජාතික ප්‍රමිතියට වැඩි දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි.

රත්මලාන, පෑලියගොඩ සහ වේයන්ගොඩ ආශ්‍රිතව නව ගුදම් පහසුකම් ඉදි කරමින් කොළඹ වරාය සංක්‍රමණික බහලුම් කේන්ද්‍රයක් (Transshipment Hub) බවට පත් කිරීම පිළිබඳ ද සාකච්ඡාවට ලක් විය.

ඇමැති රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම්, ආචාර්ය පී. බී. ජයසුන්දර යන මහත්වරුන්, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතන ප්‍රධානීහු සහ වරාය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෝ මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස