රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිස් වූ වහා අජිත් මාන්නප්පෙරුමට එහි දිවුරුම් දීමට මෙහෙයවා ඇත්තේ සජිත් ප්‍රේමදාස බව වාර්තා වෙයි. ඒ අදාළ මන්ත්‍රී ධූරය හිස්ව තබමින් රංජන් රාමනායක නිදහස් කරගැනීමට අරගල කළ යුතු බවට සමගි ජන බලවේගය ඒකමතික තීන්දුවක් ගෙන ඇති පසුබිමකය.
කෙසේ වුව ද අදාළ තීන්දුව ගෙන පැය කිහිපයක් ඇතුළත අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දීමට යවා ඇත්තේ සජිත් ප්‍රේමදාස බවත් මේ නිසා හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිස බලවත් කනස්සල්ලට පත්ව ඇති බවත් එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙයට පෙර ජාතික නිදහස් දින උත්සවය වර්ජනය කිරීමට එම පක්ෂය තීන්දු කළ පසු සජිත් ප්‍රේමදාස සිය බිරිඳ සමග ඊට සහභාගී වීම නිසා හටගත් නොමනාපය රංජන් රාමනායක සිදුවීම නිසා අලුත් වී තිබේ. පැය කිහිපයක් ඇතුළත සිය මන්ත්‍රී ධූරයෙහි අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දීම පිළිබඳ රංජන් රාමනායක ද ෆේස්බුක් සටහනක් තබමින් කනගාටුව පළකර තිබිණි.
රංජන් රාමනායක විසින් සිය ආන්දෝලනාත්මක හඬපටවල දී සජිත් ප්‍රේමදාස හඳුන්වා තිබුණේ කිසිම කැපෑසිටියක් නැති කිලි මහාරාජා විසින් මෙහෙය වන රූකඩයක් බව ප්‍රකාශ කර තිබිණි.
හරීන් ප්‍රනාන්දු ආණ්ඩුවෙන් රංජන් රාමනායකට විශේෂ සමාවක් ඉල්ලා, සමාව ලැබෙන්නේ නම් සිය මන්ත්‍රී ධූරය ඔහුට ලබා දීමට තීන්දු කරන්නේ සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේග සටන පාවා දුන් මේ පසුබිමෙහිය.