යුගදනවි ගිවිසුම කැබිනට් ඇමැතිලට දුන්නෙත් මං…! – අනුර…

December 11, 2021 at 10:49 am | by emanisa.lk

ආණ්ඩුව විසින් ඇමරිකානු සමාගමක් සමග යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් අත්සන් කරන ලද ගිවිසුමේ පිටපත් කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් වෙත ද ලබා දුන්නේ තමන් විසින් බවත් ඒ අනුව එම ගිවිසුම කැබිනට් අමාත්‍යවරුන්ට පවා ලබානොදී අත්සන් තැබූ එකක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

“විශේෂයෙන්ම ඔබ දන්නවා ඇති පහුගිය කාලෙ පුරාවටම අපි දිගින් දිගටම පාර්ලිමේන්තුවේ පෙන්වා දෙනු ලැබුවා මේ ගිවිසුම ඉදිරිපත් කරන්න කියලා. නමුත් ආණ්ඩුව කිසිසේත්ම මේ ගිවිසුම ඉදිරිපත් කරන්න උත්සාහයක් තිබුණෙ නෑ.

මේ විතරක් නෙවෙයි, අපි කථානායකවරයාට බලකර කියා සිටියා අමාත්‍යවරයාට නියෝගයක් ලබාදෙන ලෙස මෙම ගිවිසුම ඉදිරිපත් කරන්න කියලා. නමුත් කථානායකවරයා තමන්ගෙ වගකීම අත්හැරලා ලිස්සලා ගියා.

ඉන් අනතුරුව තමයි අප විසින් මෙම ගිවිසුම ඉදිරිපත් කරලා තිබෙන්නෙ. එනිසා ආයෙ ආණ්ඩුවට ඉදිරිපත් කරන්න ගිවිසුමක් නෑ පාර්ලිමේන්තුවට. මොකද ගොඩාක් ඇමතිවරුන් ගාවත්, ඒ කියන්නෙ මුදල් අමාත්‍යවරයා හැර අනෙක් කිසිදු අමාත්‍යවරයෙක් ගාවත් නෑ.

මේ ගිවිසුම ඉදිරිපත් කළාට පසු බොහෝ අමාත්‍යවරුන් මගෙන් ගිවිසුමේ පිටපත් ඉල්ලා සිටියා. එනිසා ඒ කැබිනට් මණ්ඩලයේ ඉන්න අමාත්‍යවරුන්ටත් ගිවිසුමේ පිටපත් ලබාදුන්නෙ මම. එනිසා මම හිතනවා තවදුරටත් ආණ්ඩුවෙන් මම ගිවිසුම ඉදිරිපත් කිරීමක් ගැන බලාපොරොත්තු වියයුතු නෑ.

මොකද මේ ගිවිසුම තමයි සත්‍යය ගිවිසුම. මේකෙ කොන්දේසි තියෙනවා අවුරුදු දෙකක් යනතෙක් දෙපාර්ශ්වයේ එකඟතාවකින් තොරව මේ ගිවිසුම ඉදිරිපත් නොකළ යුතුයි කියලා.

විශේෂයෙන් මම දන්නවා මේ කොන්දේසිය දැම්මෙ ඇමරිකාව පැත්තෙන් නෙවෙයි. මොකද ඇමරිකාවට මේ ගිවිසුම ප්‍රකාශයට පත්කරන්න කිසිදු බාධාවක් නෑ, මේක ඔවුන්ට වාසි සහගත ගිවිසුමක්. මේ ගිවිසුම අහිතකර වන්නේ, අසාධාරණ වන්නේ ශ්‍රී ලංකාවට. එනිසා ඒ කොන්දේසිය ඉදිරිපත් කරන්නෙ ශ්‍රී ලංකා රජය විසින් බව හරිම පැහැදිලියි”

අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස