යහපාලන ආණ්ඩුව බැඳුම්කර පොළිය විදිහට බිලියන 218ක් පිට රටට වැඩිපුර ගෙවලා! – කබ්රාල්

October 7, 2020 at 8:54 am | by emanisa.lk

යහපාලන ආණ්ඩුව කාලේ විදේශයන්ට නිකුත් කළ බැඳුම්කර වෙනුවෙන් රුපියල් බිලියන 218ක මුදලක් පොලී වශයෙන් වැඩිපුර ගෙවා ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මූඩීස් ආයතනය කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ කරුණු දැක්වීමට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කීවේය.

“යහපාලන කාලයේ බැඳුම්කර වෙනුවෙන් ගෙවනු ලැබුවේත් අපේ රජය විසින් ගෙවූ පොලී ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයක්. මූඩීස් ආයතනය කුමක් කීවද සාමාන්‍ය ගනුදෙනුකරුවන් රට ගැන විශ්වාසය වැඩිකරගෙන තිබෙනවා. භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත්වලට යළි විදෙස් මුදල් ලැබෙමින් පවතිනවා.

2014 අවසාන වෙද්දී ඇමරිකානු ඩොලර් බිලියන 8.2ක්ව තිබූ සංචිත ප්‍රමාණය 2019 වෙද්දී බිලියන 15ක් දක්වා වර්ධනය කර ගැනීමේ ඉලක්කයක් තිබුණා. එහෙත් යහපාලන ආණ්ඩුව අපට භාරදුන්නේ බිලියන 7.6ක සංචිතයක්.

6.8%ක ආර්ථික වර්ධන වේගය යහපාලනය විසින් 2.3% දක්වා අඩු කළා. දැන් මේ රජය සංවර්ධන මාවතට පිවිස තිබෙනවා. සංචිත තිබෙන්නේ යම් අසීරු අවස්ථාවක දී පාවිච්චි කිරීමටයි. යහපාලන ආණ්ඩුව 2015 සිට සෑම මාසයකදීම මුදල් අච්චු ගැසුවා.”

එමෙන්ම කොවිඩ්වලින් පසුව රටේ අපනයනය බිලියන 1ක් දක්වා වැඩිවූ බව කී හෙතෙම 2020 වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 8 සිට ඇමරිකානු ඩොලර් බිලියන 5.8 දක්වා අඩුවී ඇතැයිද කීය. ඒ අනුව රට යන දිශාව පැහැදිලි බවද මුදල් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස