මෝටර් රථ හත්සියයක් RMV හොරට ලියාපදිංචි කරලා! බුද්ධි අංශ වාර්තා ඇමැති CIDයට භාරදෙයි!

December 22, 2020 at 11:09 am | by emanisa.lk

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අනිසි අන්දමින් ලියාපදිංචි කර ඇති වාහන හත්සියයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශය මගින් බුද්ධි අංශවලද සහාය ඇතිව සිදුකරන ලද රහසිගත විමර්ශනයක් මගින් මේ වාහන ගැන තොරතුරු අනාවරණය කරගෙන ඇත.

හඳුනාගත් වාහන හත්සියයෙන් වැඩි ප්‍රමාණය ජීප් රථ බව ද ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසයි.

පසුගිය වසර පහ-හයක කාලයේ දී පමණක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළට තනතුරු දරන නිලධාරීන්ගේ සහාය ඇතිව ප්‍රාඩෝ, ඩිෆෙන්ඩර් ඇතුළු රථ හැත්තෑවක ප්‍රමාණයක් අනිසි ලෙස ලියාපදිංචි කර එම වාහනවල පොත් මාරු කර ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා කියා සිටී.

තම අමාත්‍යාංශය කළ විමර්ශනයේදී හෙළි වූ මෙකී අක්‍රමිකතාවට අදාළ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බවත් ඒවාට සම්බන්ධ නිලධාරීන් ඇතුළු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගනු ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් දූෂිත ක්‍රියාවලට සම්බන්ධ යැයි හඳුනාගත් සියලුම නිලධාරීන් ස්ථාන මාරු යැවීමට තීරණය කර තිබේ. එබැවින් මෙම දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන අය හඳුන්වාදී ඇති දුරකථන අංකයට අමතා කලින් දිනයක් වෙන්කරගත යුතුව ඇත.

එෆ්. අස්ලම්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස