මෛත්‍රීගෙන් හදිසි ජනාධිපතිවරණයක්! ඡන්ද කඩන බවට තර්ජනය කර පොහොට්ටුවේ සහාය ගැනීමේ සැලසුමක්!

March 19, 2019 at 9:48 am | by admin

මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය ඇතිව ගොඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට වාර්තා පළවීමත් සමග එම වැඩ පිළිවෙල අර්බුදයට ලක්වන ආකාරයෙන් හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සුදානම් වන බව වාර්තා වෙයි.

නිලයේ වසර හතරක් ගෙවුණු පසුව ජනාධිපතිවරණය කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇතත් එවිට ඔහු එම මැතිවරණයේ නියත අපේක්ෂකයකු වෙයි. මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුණට සිදුවන්නේ මෛත්‍රීට සහය දෙනවද නැතහොත් තවත් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවද යන අපහසු තීරණය ගැනීමටය.

පොදුජන පෙරමුණේ බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ සහයෝගය ලැබ දුන්නද මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරවීම අපහසු බවයි. ගොඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කළේ ඒ තක්සේරුව නිසාය.

මෛත්‍රීපාල සිරිසේන තරග කළහොත් ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණයක් අහිමි වන අතර චන්ද ව්‍යාපාරයේ මුල සිටම පරාජිත මානසිකත්වයක් ඇතිවෙයි. මෛත්‍රීපාල සිරිසේනට සහය දුන්නද ජයග්‍රහණය දුෂ්කරය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සුදානම් වන්නේ ඡන්ද කඩෙන බව පෙන්වා පොහොට්ටුවේ සහය ගෙන කෙසේ හෝ ජය ගන්නටය.

මෙලෙස හදිසි ජනාධිපතිවරණයක් කැඳවුව හොත් මහින්ද රාජපක්ෂ සහ පොහොට්ටුවේ කණ්ඩායම විශාල අර්බුදයකට මුහුණ දෙනු ඇත. පසුගිය කාලයේ දිගටම ඔවුන්ගේ උත්සාහය වී තිබුනේ ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක් ලබාගැනීමය.

ජනාධිපතිවරණය ජයගත හැකි අපේක්ෂකයකු තමන් සතුව නැති බව ඔවුන්ගේ තක්සේරුව වීම එයට හේතුවයි. රටේ බරපතළ අප්‍රසාදයට පත්ව සිටින මෛත්‍රීපාල සිරිසේන කරේ තබා ගෙන යාමට සිදුවුවහොත් එය ඔවුන්ට වඩාත් බරපතළ ප්‍රශ්නයක් වනු ඇත.

යුක්තිය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස