මාලිමාව වටා රොද බඳින ජනතාව රනිල් රාජපක්ෂලාට අවසන් නිවේදනය දෙනවා..! – ටිල්වින්…

November 30, 2023 at 4:02 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය වටා විසල් ජන පවුරක් එකතු වී සිටින්නේ, රනිල් වික්‍රමසිංහටත් මහින්ද රාජපක්ෂ කල්ලියටත් අවසන් නිවේදනය දීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

මෙම මිනිස් සමූහය පවසන්නේ ‘අපේ රට අපට ඉතුරු කරලා, බැහැලා යන්න’ බවයි ඔහු කියන්නේ.

“මේ දුෂ්ට පාලනය නිමාකර, ජාතික ජන බලවේගයේ පාලනයකින් රට ගොඩනඟන බව තහවුරු කරන්නත් ඒ වෙනුවෙන් රටේම ජනතාව අත්වැල් බැඳගත් බවටත් පණිවිඩය තමයි මේ ව්‍යාපාරය වටා එකතුවෙන ජනතාව කියන්නේ. අපේ රටේ ආර්ථිකය, කෘෂිකර්මාන්තය, සෞඛ්‍යය වශයෙන් එකක් දෙකක් වට්ටලා තිබෙනවා නම්, ගොඩගන්න ලෙහෙසියි. නමුත් පසුගිය කාලය පුරාම රට ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන් සමාජීය වශයෙන් සහ සංස්කෘතික යන සියලුම අංශවලින් බිඳ වට්ටා තිබෙනවා.

එවැනි රටක් ප්‍රතිපත්තිවලින් විතරක් ගොඩගන්න බැහැ. එය ගොඩගන්න අලුත් ගුණයන් වැඩි වැඩියෙන් අවශ්‍යයි. ඒ සියල්ල තිබෙන්නේ ජාතික ජන බලවේගය තුළ පමණක් බව මේ විනයගරුක සටන්කාමී ජනතාව ඔප්පු කර තිබෙනවා. අපි එකම අරමුණකින් එකම සටන් පාඨ කියමින් විනය සහ සංයමය සහිතව පෞද්ගලික අරමුණු වෙනුවට පොදු අරමුණකින් ගමනක් යනවා. අපිට තිබෙන්නේ තනි තනි පුද්ගලික අරමුණු නොව, වට්ටපු රට ගොඩනඟන පොදු සහ එකම අරමුණක් බව යලි යලිත් තහවුරු කරමින් සිටිනවා. වෙන පක්ෂවල පෙළපාළිවල එකිනෙකාගේ මුහුණු දමාගෙන එකිනෙකා දිනවන්න එන පිරිස් සිටින්නේ. අපි ඇවිත් තිබෙන්නේ එකිනෙකාගේ පස්සෙන් යන්න නොවෙයි. විනාශ කර තිබෙන අපේ මව්බිම ගොඩනැගීම වෙනුවෙන් සටන් කරන්න, කැපවෙන්න සූදානම් බව ඔප්පු කරන්නයි. ඊට අවශ්‍ය ගුණය, ජවය, ආධ්‍යාත්මය තිබෙන්නේ ජාතික ජන බලවේගයේ පමණයි.

රටට හෙණ ගැහුවත් අද ඉන්න පාලකයන්ට ප්‍රශ්නයක් නැහැ. රටේ ජනතාව ආහාර නැතිව, ඖෂධ නැතිව, ඉගෙන ගන්න පහසුකම් නැතිව සිටියදී පාලකයන් මහා පරිමාණයෙන් වංචා – දූෂණවල යෙදී සිටිනවා. මිනිසාට මිනිසුන් ලෙසින් ආදරය කරන, තමන්ට පෞද්ගලිකව කිසිවක් අපේක්ෂා නොකර වසර 75ක් පුරා පීඩාවට පත්කර සිටින ජනතාවට ආදරේ බව අපි ඔප්පු කර තිබෙනවා. මේ රට ගොඩනඟන්න අවශ්‍ය සියලු කැපකිරීම් කරන්න, අපි සූදානම් බව නැවත නැවතත් තහවුරු කර
තිබෙනවා.

මෙතන තිබෙන්නේ නිකම් ඔළුගෙඩි ටිකක් විතරක් නොවෙයි; අපේ රටේ තිබෙන හොඳම ගුණයන් සහිත ධෛර්යය සම්පන්න මිනිසුන් දස දහස් ගණනක්. කලක් බොරුවට බෙදී සිට, රංගනයන් පවත්වා, දැන් එකට එකතු වී පැරණි ඉතිහාසයේ අවසන් ජවනිකාව ඔවුන් විසින් රඟ දක්වමින් සිටිනවා. අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න සමත් බලවේගය මෙතැන වටා එකතු වී සිටිනවා. අපි ආ, දුර ගමන වගේම සංයමයෙන්, ධෛර්යයෙන්, ඉදිරියට යාමේ වගකීමක් අපට තිබෙනවා.

අද සතුරා ජාතික ජන බලවේගයට බය වී සිටින්නේ මෙතැනට එක් රැස්වී ඉන්නේ නිකම්ම නිකම් හුදකලා මිනිසුන් නොවෙන නිසයි; නිකම්ම ඡන්දදායකයන් නොවෙන නිසයි. මෙතනට රැස්වී ඉන්නේ තීන්දුවක් ගතහොත් ගල් පර්වත වුණත් අස්වද්දන්න හැකියාවක් තිබෙන මිනිසුන් බව ඔවුන් දන්නා නිසයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *