මහ වසංගතයක් මැද දරුවන්ට උගන්වන්නේ නැතිව ආණ්ඩුවට පාඩම් උගන්වන්න හදනවා….! – මහින්ද…

August 15, 2021 at 4:55 pm | by emanisa.lk

වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් රජය විසින් සැලසුම් කර ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

ඒ, අද (15) හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.

හම්බන්තොට රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු පළමුව ආරම්භ වූයේ 2020 වසරේ මාර්තු මාසයේ දී ය. එතැන් පටන් මේ දක්වා රෝගීන් 6, 000කට පමණ එමගින් ප්‍රතිකාර කර තිබේ. කොවිඩ් වැළඳෙන ළමයින් සඳහා මෙතෙක් ප්‍රතිකාර ක්‍රියාත්මක කළේ කාන්තා වාට්ටු සංකීර්ණයේය. නව ඒකකය ස්ථාපිත වීමත් සමඟ ළමයින් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට හැකිවනු ඇති බව වෛද්‍යවරු පවසති. මෙහි දී විවිධ සංකූලතා තිබෙන දරුවන්ට ප්‍රමුඛත්වය හිමිවනු ඇත. සෑම පළාතකම කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකක ස්ථාපිත කිරීම ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සංකල්පය වී තිබේ.

“මුළු ලෝකයේ ම තිබෙන තත්ත්වය දැන දැනත් ඇතැමුන් මේ වෙලාවෙත් ඉල්ලීම්වලටයි ප්‍රමුඛත්වය දෙන්නෙ. විසඳුමක් දෙන්න කාලයක් දෙන්න කියලා කිව්වත් මේ අය ඒවාට ඇහුම්කම් නොදී දරුවන්ට පාඩම් උගන්වන්නෙ නැතිව රජයට පාඩම් උගන්වන්න යනවා. මේ වසංගතය ආපු වෙලාවේ අපි මුලින්ම පාසල් වහලා දැම්මේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඔබට මතක නම් විටෙන් විට අවදානම පහව ගියත් අපි පාසල් නැවත විවෘත කළේ නැහැ.

එහෙත් මේ විදිහට පාසල් වහලා තියන්න අපි කැමැතිත් නැහැ. මොකද අපි දන්නවා අධ්‍යාපනය විතරක් නෙමෙයි විෂය බාහිර දැනුමත් පාසල තුළින් ලැබෙනවා. දරුවන්ට අනාගතයට මුහුණ දෙන්න අවශ්‍ය දැනුම තිබෙන්නෙ පතපොතේ විතරක් නෙමෙයි. පාසලේ දී ගුරුවරුන් අපට ජීවිතයත් කියා දෙනවා. ඒක අදට වඩා වටින්නෙ අනාගතයට.

ඒ නිසා ගුරු විදුහල්පති අනධ්‍යන කාර්ය මණ්ඩල එන්නත් කරලා අවසන් වූ වහා ම වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්න රජය සැලසුම් සකස් කර අවසන්. එහිදිත් විවිධ සංකූලතා තිබෙන දරුවන්ට ප්‍රමුඛත්වය දෙන්නත් අප බලාපොරොත්තුවෙනවා.

අපිට විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ දියුණු රටවලටත් මේ වසංගතය පාලනය කර ගැනීම අද අභියෝගයක් වෙලා. දැනට තිබෙන එකම විසඳුම එන්නත්කරණය මගින් ජීවිත හානි මෙන්ම රෝගය පැතිරීම වළක්වා ගැනීම පමණයි.

අපි රටක් විධියට එන්නත්කරණය අතින් බොහෝ ඉදිරියෙන් ඉන්නවා. ඒත් මේ කටයුත්ත තව තවත් වේගවත් කරමින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත යුතුයි. අපි ප්‍රමුඛත්වය දෙන්නේ ඒ සඳහායි. එහෙම තියෙද්දි අද ඇතමෙක් බොර දියේ මාලු බානවා. සමහරු ඒ අස්සෙ දේශපාලන කෝන්තරත් පිරිමහනවා. ඒක අලුත් දෙයක් නෙමෙයි. මේවා අපට හොඳට පුරුදුයි. ඒ නිසා මේවාට උත්තර දෙනවට වඩා වටින්නෙ ඒ කාලයත් තවත් ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන් යෙදවීම කියලයි අපි විශ්වාස කරන්නෙ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස